fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දිස්ත්‍රික් 8කට දැඩි උණුසුමක් -අව්වට යන්න පෙර මේ ගැන දැනගන්න..

    දිස්ත්‍රික් 8කට දැඩි උණුසුමක් -අව්වට යන්න පෙර මේ ගැන දැනගන්න..

    දිවයිනේ දිස්ත්‍රික් 8කට අද සහ හෙට දිනයේදී මිනිස් සිරුරට දැනෙන උණුසුම ‘ අවධානය ‘ යොමු කල යුතු මට්ටමක පවතියි යැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    මේ අනුව ගම්පහ, කොළඹ, කුරුණෑගල, පුත්තලම, අනුරාධපුරය ත්‍රිකුණාමලය, පොළොන්නරුව හම්බන්තොට යන දිස්ත්‍රික්කවලට අවධානය යොමුකළ යුතු මට්ටමකට උණුසුම් කාලගුණය බලපානු ඇත.

    එම දිස්ත්‍රික්වල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය සෙල්සියස් අංශක 39ත් 45ත් අතර අගයකට වැඩි විය හැකි බවට ද අනතුරු ඇඟවේ.

    එබැවින් හිරුඑළියට වැඩි වෙලාවක් නිරාවරණය වීම සහ ක්‍රියාකාරකම්වල නියුතු වීම තුළින් තෙහෙට්ටු තත්ත්වයක් ඇති විය හැකි බවට අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.

    එමෙන්ම හිරු එළියේ ක්‍රියාකාරකම්වල නිරතවීම තුලින් විජලනය සහ ලවණ ඉවත් වීම නිසා ඇති වන මස්පිඩු පෙරලීම් (heat cramps) ඇති විය හැකිය.

    අධික උෂ්ණත්වය නිසා ඇති වන අධික මහන්සිය (heat exhaustion) ඇති විය හැකි අතර ශරීරයේ උෂ්ණත්ව නියාමන ක්‍රියාවලිය අඩපන වීම නිසා ඇති ආඝාත තත්ත්වයන්ට (Heat stroke)  ද ගොදුරුවීමේ අවදානමක් පවතී.

    ගෙවුණු පැය 24 තුළදී රත්නපුර දිස්ත්‍රික්කයට දිවයිනේ වැඩිම උෂ්ණත්වය බලපෑ අතර එය සෙල්සියස් අංශක 37.4ක් ලෙස බලපා ඇත.

    අද සහ හෙට දින රටපුරා වියළි කාලගුණය බලපෑ හැකි ආකාරය පහත ඡායාරූපවලින් දැක්වේ.

    මේ අතර අධික උණුසුම් කාලගුණය නිසා පාසල් දරුවන්ට ඇතිවිය හැකි අහිතකර බලපෑම් අවම කර ගැනීම සඳහා නිර්දේශයන් පිළිබඳ පාසල් බලධාරීන්ගේ අවධානය යොමුවීම වටී.

    පවතින අධික උෂ්ණත්වය සහිත කාලගුණ තත්වය නිසා පහත සඳහන් ආකාරයේ අභිතකර ප්‍රතිඵල ඇතිවිය හැකි අතර ඒ සඳහා පහත ක්‍රියාමාර්ග ගත හැකිය.

    1. දහදිය දැමීම නිසා ඇතිවන විජලනය හා ලවණ ඉවත් වීම නිසා ඇතිවන මස්පිඩු පෙරලීම –
      (Heat Cramps) – අත් පා සහ උදරයේ මස්පිඩු වේදනාව හා පෙරලීම.
      ප්‍රථමාධාර – සියලු ක්‍රියාකාරකම්වලින් ඉවත් වී සිසිල් ස්ථානයක විවේකගැනීම හා ප්‍රමාණවත් ලෙස ජලය පානයකිරීම (සෑම විනාඩි 15 කටම වරක් වීදුරු භාගය බැගින්)

    2. අධික උෂ්ණත්වය මත ඇතිවන අධික මහන්සිය –
      (Heat Exhaustion) අධික දහදිය දැමීම, ශරීර අප්‍රාණික බව, ක්ලාන්තය
      ප්‍රථමාධාර – සියලු ක්‍රියාකාරකම්වලින් ඉවත් වී සිසිල් ස්ථානයක විවේක ගැනීම හා ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම (සෑම විනාඩි 15 කටම වරක් වීදුරු භාගය බැගින්)
      ස්නානය, සිසිල් ජලයෙන් ශරීරය තෙතමාත්තු කිරීම.

    3. ශරීරයේ උෂ්ණත්ව නියාමන ක්‍රියාවලිය අඩපණවීම නිසා ඇතිවන ආඝාත තත්ත්වය (Heat Stroke)
      අධික ශරීර උෂ්ණත්වය, නාඩි වේගය වැඩිවීම හා ස්වසන වේගය වැඩිවීම, සිහිමද ගතිය, හිසරදය, වලිප්පු තත්ත්වය, සිහිසුන් වීම.
      ප්‍රථමාධාර – සිසිල් සෙවන සහිත ස්ථානයකට ගෙන යාම, ශරීරයට අනවශ්‍ය තද ඇදුම් ඉවත් කිරීම බුරුල් කිරීම, සිසිල් ජලයෙන් ශරීරය තෙතමාත්තු කිරීම.
      මෙය දැඩි අවදානම් තත්වයක් බැවින් වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට යොමු විය යුතුය.
      මෙවැනි අවස්ථාවකදී 1990 අමතා සුවසැරිය ගිලන් රථ සේවයේ සහය හෝ නැතහොත් ලගම රෝහලේ ගිලන් රථය ලබාගැනීමට ක්‍රියා කරන්න.

    පාසැල් ක්‍රියාකාරකම්වල නිරත වීමේදී පහත නිර්දේශ අනුගමනය කිරීමෙන් අවදානම් අවම කරගත හැකිය.

    • අධික උෂ්ණත්වය පහිත දිනවල පිසුන් එළිමහන් / ක්‍රීඩා පිටියේ ක්‍රියාකාරකම්වල යෙදීමෙන් වැළකීම.
    • සිසුන් විවේක කාලයේදී දැඩි හිරු එළිය සහිත එළිමහනේ ගත කිරීම හා ක්‍රීඩා කිරීමෙන් වැළකීම.
    • වැඩිපුර ජලය පානය හා වෙහෙස නිවාගැනීම සඳහා කෙටි විවේක කාල දෙකක් ලබාදීම වඩාත් සුදුසු ය.
    • දහවල් අධික උෂ්ණත්වය සහිත කාලයේදී අත්‍යාවශ්‍ය නොවන අවස්ථාවලදී සිසුන් පිටතට ගෙනයාමෙන් වලක්වා ගැනීම. (පාසලේදී මෙන්ම නිවසේදී)
    • අධික උෂ්ණත්වය සහිත දිනවල නිවාසාන්තර ක්‍රීඩා තරඟ හා පුහුණුවීම් පැවැත්වීමෙන් වැලකී සිටීම.
    පහසුකම් සැලසීම
    • අවශ්‍ය තරම් බීමට ජලය සැපයීම හා වැඩිපුර පිරිසිදු ජලය පානය සඳහා සිසුන් යොමු කිරීම. හැකි අවස්ථාවලදී සිසිල් ජලය ලබාදීම වඩාත් සුදුසු වේ.
    • පාසලේ ප්‍රමාණවත් ජල පහසුකම් නොමැතිනම් ඒ සඳහා විකල්ප ක්‍රම යෙදීම. (දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ නිලධාරින් මගින් දිස්ත්‍රික් ලේකම්ගේ සහය සදහා ලබා ගත හැක.)
    • පන්ති කාමර සඳහා වාතාශ්‍රය හොදින් ලැබීම සඳහා දොර ජනෙල් විවෘතව තැබීම හා අවශ්‍ය පියවර ගැනීම. විදුලිපංකා භාවිතා කරන්නේ නම් පිරිසිදු වාතාශ්‍රය ලැබීම සඳහා දොර ජනෙල් අනිවාර්යයෙන්ම විවෘතව පැවතිය යුතුය.
    • තට්ටු ගොඩනැගිලි/ ටකරන් වහල සහිත අධික උෂ්ණත්වය සහිත ගොඩනැගිලිවල ඇති පන්ති කාමර සුදුසු තත්ව සහිත තාවකාලික ගොඩනැගිල්ලකට, ස්ථානයකට මාරු කිරීම.
    සිසුන්ගේ පුද්ගලික පෙර සුදානම
    • අවශ්‍ය අවස්ථාවලදී ටයි පටිය නොපැලදීම හෝ ටයි පටියේ ගැටය ලිහිල් කිරීම සිදුකල යුතුය.
    • බඳ පටි පැළදීම හැකිතාක් අවම කිරීම.
    • අධික සිරුඑළිය සහිත පරිසරයේදී හොඳින් හිස ආචරණය වන හිස් වැසුමක් හෝ කුඩයක් භාවිත කිරීම.
    • කළු වර්ණයෙන් යුත් ඇඳුම් පැළදුම් භාවිත නොකළ යුතුය.
    • නිවසෙන් බැහැර යන හැම අවස්ථාවකදීම පිරිසිදු වතුර බෝතලයක් රැගෙනයායි.
    • සාමාන්‍ය දිනවලට වඩා ජල පානය වැඩි කිරීම, තැඹිලි, කුරුම්බා, ජලය වෙනුවට ආදේශක ලෙස භාවිත කිරීම සුදුසු වේ. කිසිදු අවස්ථාවක සීනි අධික පැණි බීම භාවිත නොකළ යුතුය.
    • අධික උෂ්ණත්වය නිසා ඇතිවිය හැකි අහිතකර රෝග ලක්ෂණ ඇතිවන්නේ නම් ගුරුවරයෙකුට හෝ වැඩිහිටියකුට දැනුම්දීම මඟින් නොපමාව වෛද්‍ය උපදෙස් ලබාගත යුතු වේ.
    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img