fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මියන්මාරයේ සයිබර් වහලුන් වූ ලාංකිකයන්ගේ පවුල්වලින් මුදල් ගරන ජාවාරමක්

    මියන්මාරයේ සයිබර් වහලුන් වූ ලාංකිකයන්ගේ පවුල්වලින් මුදල් ගරන ජාවාරමක්

    මියන්මාරයේ සිරවී සිටින මිනිස් ජාවාරමට ගොදුරු වී සිටින ශ්‍රී ලාංකිකයන් බේරාගෙන නැවත මෙරටට ගෙන්වා ගැනීමට මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමඟ සම්බන්ධීකරණයෙන් සෑම උත්සාහයක්ම ගනිමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

    විදේශ කටයුතු අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් යූ.එල්. මොහොමඩ් ජවුහාර් පසුගිය 22 වන දින කොළඹ මියන්මාර තානාපතිවරයා හමුවී මෙම ශ්‍රී ලාංකිකයන් ආරක්ෂිතව ගලවා ගැනීමට සහ නැවත ගෙන්වා ගැනීමට සහය වීමේ හදිසි අවශ්‍යතාවය නැවත අවධාරණය කර ඇත.

    තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ නීත්‍යානුකූල රැකියා ලබාදෙන මුවාවෙන් මියන්මාරයේ මායාවඩ්ඩි ප්‍රදේශයේ ස්ථාන කිහිපයක මෙම ශ්‍රී ලාංකිකයන් රඳවාගෙන බලහත්කාරයෙන් විවිධ ඔන්ලයින් වංචාවන් සිදුකරවාගෙන ගනී.

    විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා මියන්මාරයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා සහ විදේශ කටයුතු අමාත්‍යවරයා වෙත මෙම ගැටලුව ගෙන ගියේ ශ්‍රී ලාංකිකයන් බේරා ගැනීමට කඩිනම් මැදිහත්වීමක් ඉල්ලා සිටිමිනි.

    මෙම ජාවාරම්කරුවන්ගේ සයිබර් අපරාධ ක්‍රියාකාරකම්වල වහල්භාවයට පත් ශ්‍රී ලාංකික වින්දිතයින්ගේ බරපතල තත්ත්වය පිළිබඳව මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, මියන්මාර බලධාරීන්ගේ අවධානයට නිරන්තරයෙන් යොමු කර ඇත.

    එමෙන්ම මෙම දුක්ඛිත තත්වයන්ගෙන් විපතට පත්වූවන් ගලවා ගැනීමට කඩිනම් පියවර ගන්නා ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව අමාත්‍යාංශය කියයි.

    මියන්මාර රජය මේ වනවිට ඒ සඳහා දැඩි උත්සාහයක නියැලෙමින් සිටින අතරවාරයේ පවතින තත්ත්වය හේතුවෙන් අදාළ ප්‍රදේශයට ප්‍රවේශවීමේ දුෂ්කරතාවන්ට මුහුණ පා ඇති බව දන්වා ඇත.

    බලපෑමට ලක් වූ වෙනත් රටවල විදෙස් ජාතිකයින් සමඟ ද මේ පිළිබඳ කටයුතු කිරීමේ හැකියාව අමාත්‍යාංශය සොයාබලමින් සිටී.

    මේ අතර, ජාවාරමට ලක්වූවන් මුදාගැනීමේ සහ නැවත මෙරටට ගෙන්වා ගැනීමේ ක්‍රියාවලියට සහය වන බවට පොරොන්දු වෙමින් ඇතැම් පිරිස් විපතට පත් වූවන්ගේ පවුල්වලින් මුදල් එකතු කිරීමට උත්සාහ කරමින් සිටින බවද අනාවරණය වී ති‍බේ.

    මෙම පුද්ගලයින් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස එම අමාත්‍යාංශය විපතට පත් පුද්ගලයින්ගේ පවුල්වලින් ඉල්ලා සිටියි.

    විදේශ කටයුතු අමාත්‍යාංශය අදාළ බලධාරීන් සමඟ නිරන්තරයෙන් සම්බන්ධ වී සිටි.

    මියන්මාර රජයේ බලධාරීන් සමඟ නිරන්තර සම්බන්ධතා පවත්වමින් එහි මිනිස් ජාවාරමට ගොදුරු වූ ශ්‍රී ලාංකිකයන් බේරා ගැනීමට සහ ආරක්ෂිතව ආපසු ගෙන්වා ගැනීමට හැකි සෑම මාර්ගයක්ම අනුගමනය කරමින් සිටින බවට අමාත්‍යාංශය සහතික වෙයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img