(නදීක දයා බණ්ඩාර – මහනුවර)
බරපතල ආර්ථීක අර්බුදයට පත් වූ සෙසු රටවලට සාපේක්ෂව වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළදී ශ්‍රී ලංකාවට ආර්ථික අර්බුදයෙන් මිදීමට හැකියාව ලැබුණු බව විදේශ කටයුතු අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසයි.
ග්‍රීසිය, සිම්බාබ්වේ, ආර්ජන්ටිනාව ඇතුලු ආර්ථික අර්බුදයට පත් රටවල් රැසකට එම තත්ත්වයෙන් මිදීම සඳහා වසර 10කට අධික කාලයක් ගත වූ බව ද අමාත්‍යවරයා පැවසුවේය.
ඒ මහතා මෙම අදහස් පළකරන ලද්දේ මහනුවර මුස්ලිම් වෙළඳ සංගමයට වසර 30ක් සම්පූර්ණවීමට නිමිත්තෙන් ඊයේ (24) මහනුවර ග්‍රෑන්ඩ් කැන්ඩියන් හෝටලයේදී පැවැති සැමරුම් උත්සවයට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගීවෙමිනි.
මුස්ලිම් වෙළඳ සංගමයේ සංවත්සර සැමරුමට සමගාමීව ව්‍යාපාරික ක්ෂේත්රයෙන් ඉහළ නිපුණතා දැක්වූ මහනුවර දිස්ත්‍රික්කයේ ව්‍යාපාරිකයන් සහ සමාජ සේවකයන් සඳහා සම්මාන ප්රදානය ද මෙහිදී සිදුවිය.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, ශ්‍රී ලංකාව දැඩි ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කිරීම හේතුවෙන් ආර්ථීක ලිහිල්භාවයක් ලබා ස්ථාවරත්වය වෙත ළගාවිමට අවස්ථාව හිමිවූ බව කීවේය. ඒ සඳහා ජනාධිපතිවරයා රටට සුදුසු නායකත්වයක් හා සුදුසු ප්‍රතිපත්ති අනුගමනය කිරීමට කටයුතු කළ බව ද සබ්රි මහතා අවධාරණය කළේය.
ලෝකයේ සෙසු රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයේ ප්‍රමාණාත්මක බව ඉහළ ගොස් ඇතැයි කී ඒ මහතා රාජ්‍ය සේවය තුළ යම් ප්‍රතිසංස්කරණ සිදුවිය යුතු බවත් ප්‍රමාණයට සාපේක්ෂව ඔවුන්ට හිමිවන වැටුප ප්‍රමාණවත් නොවන බවත් එහිදී පැවසීය.
ඉකුත් වර්ෂයේදි ලක්ෂ 15ක විදේශ සංචාරකයන් ප්‍රමාණයක් මෙරටට පැමිණි බවත් එම ඉලක්කය මෙම වර්ෂයේදී ලක්ෂ 25 දක්වා ඉහළ නැංවීම රජයේ අපේක්ෂාව බවත් අමාත්‍යවරයා කීහ. පසුගිය ජනවාරි මාසයේදී විදේශීය සංචාරකයන් දෙලක්ෂ දසදහසක් මෙරටට පැමිණ ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.
බිලියන 86,000ක වත්කමකින් යුතු ශ්‍රී ලංකාවේ ආර්ථික වටිනාකම බිලියන 74ක් වන බවත් එය ලෝක ආර්ථීකයට සාපේක්ෂව ඉතා සුළු අගයක් යැයි අමාත්‍යවරයා කීවේය.
ඒ කුඩා අගය යම් ප්‍රමාණයක් හෝ ඉහළ නැංවීම සඳහා විදේශීය ආයෝජන මත විශාල වෙළඳපොළක් සකස් කර ගත යුතු යැයි ද පැවසුවේය.
බංගලාදේශය, චීනය, ඉන්දියාව, වියට්නායම වැනි රටවල් ද සීඝ්‍ර දියුණුවක් කරා යොමුවී ඇත්තේ වෙළඳ ගිවිසුම් කරා යොමුවීමෙන් යැයි ද කීවේය.
රජයක් ව්‍යාපාර නොකළ යුතු යැයි පෙන්වා දුන් ඒ මහතා ව්‍යාපාරිකයක්ට අවශ්‍ය පහසුකම් සම්පාදනය කිරීම රජයේ කාර්යය විය යුතු යැයි ද එහිදී තව දුරටත් සඳහන් කළේය.