fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මන්ත්‍රීවරයකුට කථානායකගෙන් තරවටුවක් -මැතිසබෙත් මාසයක් තහනම්

    මන්ත්‍රීවරයකුට කථානායකගෙන් තරවටුවක් -මැතිසබෙත් මාසයක් තහනම්

    පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් මහතාගේ පාර්ලිමේන්තු සේවා කාලය අද (06) දින සිට මාසයක කාලයක් සඳහා අත්හිටුවා තිබේ.

    ඒ සඳහා ඉදිරිපත් කරන ලද යෝජනාවට අද අනුමැතිය හිමි විය.

    අලි සබ්‍රි රහීම් මන්ත්‍රීවරයාගේ නොමනා ක්‍රියාකලාපය හේතුකොටගෙන පාර්ලිමේන්තුවේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ වරප්‍රසාද කඩවී ඇති බවට ආචාර ධර්ම හා වරප්‍රසාද පිළිබඳ කාරක සභාව විසින් 2024.ජනවාරි 24 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ නිර්දේශයන්ට අනුව අද දින මෙම යෝජනාව ඉදිරිපත් විය.

    ආචාර ධර්ම හා වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කිරීමෙන් අනතුරුව එම කාරක සභාව විසින් ඉහත නිර්දේශ ලබා දෙන ලදී.

    එසේම මෙහිදී කථානායකවරයා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා වෙත පහත දැනුම්දීම ද සිදු කළේය.

    “2023.05.23 වන දින ගරු අලි සබ්රි රහීම් වන ඔබ විසින් පාර්ලිමේන්තු වරප්‍රසාද සහ ඔබ වෙත නිකුත් කර ඇති‍ රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රය අවභාවිතා කරමින් කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ප්‍රභූ පර්යන්තය හරහා නීති විරෝධී ලෙස රුපියල් මිලියන 70 කට අධික වටිනාකමකින් යුත් රත්‍රං සහ ස්මාර්ට් ජංගම දුරකථන ශ්‍රී ලංකාව තුළට රැගෙන ඒමට කටයුතු කර ඇති බව පිළිගෙන ඇති හෙයින්ද,

    එම නීති විරෝධී ක්‍රියාව සම්බන්ධව ශ්‍රී ලංකා රේගුව විසින් ඔබට රුපියල් ලක්ෂ 75 ක දඩයක් නියම කිරීමටද රැගෙන එන ලද සියලු භාණ්ඩ රාජසන්තක කිරීමටද පියවර ගෙන ඇති හෙයින්ද,

    2018 අප්‍රේල් 15 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි 2018 මාර්තු 07 වන දින පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සඳහා වන චර්යා ධර්ම සංග්‍රහයේ 6 වන වගන්තිය වන “මන්ත්‍රීවරයන් සෑම අවස්ථාවක දී ම ඔවුන් වෙත තබා ඇති මහජන විශ්වාසයට අනුව ක්‍රියාකල යුතු අතර, සෑම විටම යම් පොදු සම්පත් භාවිතයද ඇතුළු ඔවුන්ගේ හැසිරීම අවංකභාවයකින් සහ ඒකානුතාවයකින් විය යුතුය” යන්න කඩ කර ඇති හෙයින්ද,

    24 වැනි වගන්තිය වන “මහජන මුදලින් තමාට ලබා දෙන යම් වියදම්, පහසුකම් සහ සේවාවන් එම කාරණා සම්බන්ධයෙන් දක්වා ඇති රීතිවලට අනුකූලව වන බවට සැම මන්ත්‍රීවරයකු ම වගබලා ගත යුතුය. මන්ත්‍රීවරයන් විසින් යම් පොදු සම්පත් භාවිතා කිරීම සෑම විටම සිය පාර්ලිමේන්තු කාර්යභාරය සඳහා වන බවට ද වගබලා ගත යුතු අතර, එය ඔවුන් හෝ වෙනත් අයෙකු හෝ යම් දේශපාලන සංවිධානයක අයුතු පෞද්ගලික හෝ මූල්‍යමය ප්‍රතිලාභයක් සඳහා නොවිය යුතු ය” යන්න කඩ කර ඇති හෙයින්ද,

    ඔබගේ මෙම නොමනා ක්‍රියා කලාපය හේතුවෙන් පාර්ලිමේන්තුවේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ කීර්ති නාමයට බලවත් කැළලක් සිදුව ඇති හෙයින්ද, මෙවැනි නොමනා ක්‍රියාවන්හි නිරතවීමෙන් ඉදිරියට වළකින ලෙස ඔබට මෙයින් තරවටු කරමි.”

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img