දෙහිඕවිට පොලිස් ස්ථානයට අයත් පොලිස් ජිප් රථයක අංකය වෙනුවට ව්‍යාජ අංක තහඩුවක් සවිකර පොලිස් යැයි සඳහන් බද කොටසට ස්ටිකර් අලවා දක්ෂිණ අධිවේගයේ එම ජිප් රථය ධාවනය කළ සිව් දෙදෙනෙක් පින්නදූව පිටවුමේදී පොලීසිය ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.
මෙම ජිප් රථය අලුත්වැඩියාවක් සඳහා මෙරට ප්‍රධාන පෙලේ මෝටර් රථ සමාගමක රත්මලානේ පිහිටි සේවා ස්ථානයකට භාරදී තිබියදී එහි සේවකයින් පිරිසක් එම රථය මෙසේ ධාවනයකර ඇති බව පොලිසිය කියයි.
අත්අඩංගුවටගත් සැකකරුවන් යක්කලමුල්ල, නාවලපිටිය, අළුබෝමුල්ල සහ පාදුක්ක වටරැක පදිංචිකරුවන් බව පොලීසිය කියයි. ඔවුන් අවුරුදු 23,30,40 සහ 41 යන වයස්වල පසුවන්නන්ය.
මෙම රථය අධිවේගී මාර්ගයට කහතුඩුවෙන් ඇතුළුකර පින්නදූවෙන් පිටවීමට යාමේදී අධිවේගී රථවාහන කොට්ඨාශයේ නිලධාරීන්ට ඇතිවුණු සැකයක් මත පරීක්ෂාවට ලක්කිරීමේදී මෙම රථය පොලීසියට අයත් එකක් බව හෙළිවී තිබේ.
මෙසේ පොලිස් ජිප් රථයක් ව්‍යාජ අංකයක් සහිතව ධාවනය කිරීම සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන බව පොලීසිය කියයි.