fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"සමහර යෝජනා වෙනස් වෙන්න ඕනේ" -සජිත් IMF නියෝජිතයන්ට කියයි

    “සමහර යෝජනා වෙනස් වෙන්න ඕනේ” -සජිත් IMF නියෝජිතයන්ට කියයි

     

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය විසඳීමට ඉදිරිපත් කළ සමහර යෝජනා ක්‍රියාවට නැංවීමේ ආකාර සංශෝධනය විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජාතත්‍යන්තර මුල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයින් වෙත අවධාරණය කර තිබේ.

    එම අරමුදල විසින් ඉදිරිපත් කර ඇති යෝජනා සහ ඉලක්කවලට සමගි ජන බලවේගය ධනාත්මක ව එකඟ වන බවද විපක්ෂනායකවරයා කියාසිටියේ, සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානය නියෝජනය කරනා මන්ත්‍රීවරුන් රැසක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් රැසක් සමඟ අද (20) පාර්ලිමේන්තුවේ දී පැවති සාකච්ඡා‍වේදී ය.

    බදු ආදායම ලබාගැනීමේ දී ඉදිරිපත් කර ඇති යෝජනාව වූ දළ දේශිය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් වූ අගයට එකඟ විය හැකිමුත්, එම ආදායම ලබාගැනීමේ ක්‍රමවේදය වෙනස් විය යුතු බවත් එය ජනතාවට පීඩාවක් නොවන, සමාජ සාධාරණත්වය ඇති කළ හැකි ආකාරයෙන් සිදු කළ යුතු බවත් මෙහිදි අවධාරණය කර ඇත.

    මේ සාකච්ඡාව සඳහා විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් මෙන්ම මේ ආර්ථික අර්බුධය නිසා දැඩි ලෙස අසරණ වී ඇති ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් පිරිසක් ද එක්විය.

    මෙහි දී දුප්පත්කම තුරන් කරවීම සඳහා නව වැඩසටහනක අවශ්‍යතාව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය.

    විශේෂයෙන් රටෙන් හරි අඩකට ආසන්න සංඛ්‍යාවක් දුප්පතුන් වී ඇති බවත් මේ තත්ත්වය නිසා කුටුම්භවල ආදායම් මට්ටම ශීඝ්‍ර ලෙස පහළ වැටී ඇති බවත් විපක්ෂනායකවරයා එහදී අවධාරණය කළේය.

    ඒ නිසා ළදරුවන්,ගැබිනි කාන්තාවන්, මව්වරුන්, දරුවන්, 41 ලක්ෂයක් පාසල් සිසුන් මෙන්ම තරුණයන් තුළ ද මන්දපෝෂණ තත්ත්වය වර්ධනය වී ඇති බවත් එය මැඩපැවැත්වීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය අවශ්‍ය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය.

    මේ සඳහා පවතින දුප්පත්කම තුරන් කිරීමේ සමාජ ආරක්ෂණ වැඩසටහන් ප්‍රමාණවත් නොවන බැවින් ජනසවිය වැඩසටහනේ ආකෘතිය ගත් නව සමාජ ආරක්ෂණ වැඩසටහනක් අවශ්‍ය බවත් එහි දී පාරිභෝජනය, ආයෝජනය, ඉතිරි කිරීම ආදී ක්ෂෙත්‍ර ද ආවරණය විය යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

    මෙහි දී වගකිව යුතු පක්ෂයක් ලෙස ශ්‍රි ලංකාවේ ආර්ථික අර්බුදයේ ගැඹුර හා සංකීර්ණ බව සමගි ජන බලවේගය මැනවින් තේරුම් ගෙන ඇති බව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයින් හමුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

    එසේම පවතින බංකොළොත් භාවයෙන් මුදවා ගැනීමටත්, ආයෝජන සවිමත් කිරීමටත් ජනතාවගේ ආර්ථික ශක්තිය සවිමත් කිරීමටත් සමගි ජන බලවේග රජයක් විසින් සෑම පියවරක්ම ගන්නා බවත් ඒ සඳහා තමන්ටට සාධනීය වැඩපිළිවෙළක් ඇති බවත් නායකවරයා පැවසීය.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහභාගීත්වය ඇතිව රටේ ආර්ථික අර්බුදයට මුහුණ දිය යුතු බවට තමන් මීට පෙර කළ යෝජනාවට, ආණ්ඩුව මෙයට පෙර ප්‍රතිචාර දැක්වූවා නම්, වර්තමානයේ උද්ගතව ඇති තත්ත්වය නිර්මාණය නොවන බවත් මෙහි දී පැවසීය.

    බදු එකතු කිරීම, සුරා බදු එකතු කිරීම මෙන් ම රේගු බදු අය කිරීම වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා සියළු ම ක්ෂේත්‍ර ඩිජිටල් තාක්ෂණය ඔස්සේ සිදු කිරීමට පියවර ගැනීමටත්, ඒ සඳහා වූ අවකාශය සමගි ජන බලවේලය පුළුල් කරන අන්දමත් සාකච්ඡාවට බඳුන් විය.

    රාජ්‍ය වියදම් කළමනාකරණයේ දී ආයතනවල කාර්ය සාධනය පදනම් කර ගත් වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවන බවත් සංකෝචනය වූ ආර්ථිකය ඉදිරි වසර දහය තුළ වසරකට 10% ක අඛණ්ඩ වර්ධන වේගයක් ලබා ගැනීම සඳහා සැලසුම් කරන බවත් ඒ සඳහා උපාය මාර්ග සැකසීමේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් ගිවිසුමේ යම් යම් සංශෝධන සිදු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

    ජාත්‍යන්තර ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ප්‍රමුඛත්වය දිය යුතු බවත් එය ප්‍රමාද වීම තුළ ආයෝජනවලට ඇතිවන බලපෑම විශාල බවත් ඒ සඳහා ණය ප්‍රතිව්‍යුහගතකරණය සිදුකොට රට බංකොලොත්භාවයෙන් මුදවා ගෙන ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම් තුළට පිවිසීමේ වැදගත්කම සමගි ජන බලවේගය අවබෝධ කරගෙන ඇති බවත් ද අවධාරණය කරන ලදී.

    එමෙන්ම රටක් ලෙස ණය ගෙවීමට බැඳී සිටින බවත්, ණය ආපසු ප්‍රතිව්‍යුහගත කිරීමේ දී රටට උපරිම වාසියක් මෙන් ම වට්ටමක් ලබා ගැනීමට ක්‍රියා කළ යුතු බවත්, නියෝජිතයින්ට පැහැදිලි කර දෙන ලදී.

    ඒ අතරතුර යම් ණයක් අවභාවිත කර ඇත්නම් ඒ ගැන විමර්ශනය කිරීමටත්, එයට වගකිවයුතු පාර්ශ්වයනට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් කිසිදු පැකිලීමකින් තොරව ක්‍රියා කරන බව ද සඳහන් කළේය.

    ඇතැම් රාජ්‍ය ව්‍යවසාය, දූෂණය, නාස්තිය සහ දුර්වල කළමනාකරණය තුළ ආර්ථිකයට විශාල බලපෑමක් එල්ල කරන බවත්, එවැනි ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ දී රටට උචිත ගැලපෙන ක්‍රමෝපායක් තුළ කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දෙන ලදී.

    එසේම පසුගිය කාලසීමාව තුළ ශ්‍රි ලංකාවේ මව්වරුන්ගේ, ළදරුවන්ගේ සහ ළමුන්ගේ මන්දපෝෂණය ඉහළ මට්ටමකට පැමිණ ඇති බව අවධාරණය කළ විපක්ෂ නායකතුමා, ඒ සඳහා සාධනීය මැදිහත් වීමක් සිදුවිය යුතු බව ද අවධාරණය කරන ලදී.

    එමෙන් ම ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ දී රටේ ජාතික ආදායමට 50% ක දායකත්වයක් ද, 52% ක රැකියා නියුක්තියක් ද සහිත සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ ගැටළු පිළිබඳ ව ද මෙහි දී අවධානය යොමු කරන ලදි. එමෙන් ම මේ වන විට දැඩි අර්බුදයකට ලක්ව ඇති ගොවි, ධීවර, ස්වයං රැකියා, රාජ්‍ය සේවයෙහි මෙන් ම රටේ මධ්‍යම පන්තියේ ගැටළු පිළිබඳව ද දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කළේය.

    රටේ සමස්ත ජනතාවම, දැඩි ආර්ථික අපහසුතාවයනට මුහුණ දී ඇති බැවින්, විශේෂයෙන්ම අඩු ආදායම්ලාභී ජනතාව සඳහා වු සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළවල් කිසිදු බලපෑමකට යටත් නොකොට පුළුල් පරාසයකට ප්‍රතිලාභ ලැබෙන ලෙස ක්‍රියාත්මක කළ යුතු බවත් එහි දී අස්වැසුම වැඩසටහන සමාලෝචනය කිරීමේ වැදගත්කම ද සාකච්ඡාවට භාජනය කරන ලදී.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img