fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"මේ රට අයිති එක පවුලකට නෙවෙයි"

    “මේ රට අයිති එක පවුලකට නෙවෙයි”

    මේ රට සියලුම පුරවැසියන්ට අයිති බවත් එය කාටවත් සින්නක්කර ඔප්පුවෙන් කුමන නායකයකුටවත් ලියා දී නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    දේශපාලකයන් යනු මෙරට තාවකාලික බාරකරුවන් බවත් පෙන්වා දුන් සමගි ජනබලවේගයේ නායකවරයා පැවසුවේ සමහර පුද්ගලයන් හැසිරෙන්නේ මුළු රටම තමන්ට සහ තමන්ගේ පවුලට අයිති දෙයක් ලෙස බවයි.

    “පරම්පරාවෙන් පරම්පරාවට මේ රටේ අයිතිය එක පවුලකට සීමා වෙලා කියා සිතා ගෙන ඉන්නවා නම් එය වැරදි” බවත් මේ රට අයිති එක පවුලකට හෝ ඥාති හිතමිත්‍රාදීන්ට නොව මේ රට අයිති ලක්ෂ 220ක් සිංහල දමිළ මුස්ලිම් බර්ගර් හැම ජාතියකටම ආගමකටම අයිති ශ්‍රී ලාංකේය පුරවැසියන්ට බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

    තාත්තගෙන් පුතාටත් ඉන් පසුව මුනුබුරාටත් පක්ෂවල අයිතිය සීමා වෙන ලක්ෂණ ඇති බවත් එක එක දේශපාලන පක්ෂවලට එහෙම කරන්න පුළුවන් වුවත් රටේ අයිතිය ඇත්තේ ලක්ෂ 220 ජනතාවට බවත් එය සෑම ආගමකටම ජාතියකටම අයිති දෙයක් බවත් ආගමික සමගිය ජාතීන් අතර සමගිය ඇති කර ගත යුතු බවත් ආගම් හා ජාති අතර භේද බින්නකම් ඇති කර ඉදිරියට යා නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 136 වැනි අදියර යටතේ අද වන්නි දිස්ත්‍රික්කයේ, වව්නියාව, නැදුන්කේනි ඔලු‍මඩු දෙමළ මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි. මේ අවස්ථාවේ දී පාසලේ නර්තන කණ්ඩායම සඳහා ඇඳුම් ලබා ගැනීමට රුපියල් ලක්ෂයක මුදලක් ද ලබා දුන්නේය.

    රටේ අයිතිය කිසිදු පවුලකට අයිති දෙයක් නොවන නිසා ලක්ෂ 220ක ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතියට මුල්තැන ලබා දෙමින් තාවකාලික බාරකරුවන් ලෙස කටයුතු කරන බවත් සමගි ජන බලවේගයේ ප්‍රතිපත්තිය සුහුරු ශ්‍රී ලංකාවක් සහ සුහුරු අධ්‍යාපනයක් තුළින් ලෝකයේ අංක 1 බවට පත් වීමේ ගමන යාම බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

    ක්‍රමයේ වෙනස ආරම්භ කළේ අපියි

    මෙරට බොහෝ දෙනෙක් ක්‍රමයේ වෙනසක් ඉල්ලා සිටි බවත් එම ක්‍රමයේ වෙනස සමගි ජන බලවේගය ආරම්භ කර ඇති බවත් නිදහසින් පසු වසර 76ක් පුරා විපක්ෂයක් නොකළ සංවර්ධන වැඩපිළිවෙළක් සමගි ජන බලවේගය දියත් කළ බවත් බලයක් නොමැතිව විපක්ෂයේ සිට රටම ආවරණය වන සංවර්ධන වැඩපිළිවෙළක් ඉටු කළේ සමගි ජන බලවේගය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

    බෙදුනා ඇති. රට වෙනුවෙන් එක්වෙමු

    ඩොලර් හිගයක් තිබෙන මේ බංකොලොත් රටේ පවතින රජයටවත් කරන්න බැරි සේවාවක් සමගි ජන බලවේග අධ්‍යාපන සහ සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් ඉටු කළ බවත් ජාතිය, ආගම, කුලය, පන්තිය, පක්ෂය, තරාතිරම නිසා වෙන් වෙලා කොටස්වෙලා බෙදී සිටින ශ්‍රී ලාංකේය ජනතාව එක අම්මගේ තාත්තගේ දුවා පුතා ලෙස එකට එකතු වන එක්සේසත් වන යුගය ආරම්භ කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

    සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහ්න යටතේ මේ වන විට රෝහල් 57කට රුපියල් ලක්ෂ 1766ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 86ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4242ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 136ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 1369ක් වැය කර තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img