fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගාසා දරුවන්ට ලංකාවෙන් ඩොලර් මිලියනයක්

    ගාසා දරුවන්ට ලංකාවෙන් ඩොලර් මිලියනයක්

    ගාසා තීරයේ ගැටුම්වලින් විපතට පත් දරුවන් වෙනුවෙන් ශ්‍රී ලංකා රජයෙන් ඇමරිකන් ඩොලර් මිලියනයක පරිත්‍යාගයක් එක්සත් ජාතීන්ගේ නිල නියෝජිතායතනය හරහා පලස්තීන රජය වෙත භාරදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයනේ අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

    ඊට අදාළ චෙක්පත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ශ්‍රී ලංකාවේ සිටින පලස්තීන තානාපති ආචාර්ය සුහයිර් එම්.එච්. සෙයිඩ් මහතා වෙත නිල වශයෙන් භාර දෙනු ලැබීය.

    ගාසා තීරයේ ගැටුම්වලින් විපතට පත් දරුවන් වෙනුවෙන් සහන සැලසීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අදහසක් අනුව ආරම්භ වූ ගාසාහි ළමා අරමුදල වෙත මේ වන විටත් පරිත්‍යාගශිලි බොහෝ පිරිසක් අරමුදල් බැර කර තිබේ.

    එමෙන්ම මෙවර ඉෆ්තාර් සැමරුම පැවැත්වීම වෙනුවෙන් අමාත්‍යාංශ සහ රජයේ ආයතන විසින් වෙන් කර තිබූ ප්‍රතිපාදන ද මෙම අරමුදල වෙත ලබාදෙන ලෙස ජනාධිපතිවරයා කළ ඉල්ලීමට අනුව අරමුදල වෙත ලැබුණු ඇමරිකන් ඩොලර් මිලියනයක මුදල මෙලෙස පළමු අදියර යටතේ පලස්තීන රජය වෙත පරිත්‍යාග කිරීම සිදු කෙරිණි.

    එසේම “Children of Gaza Fund” අරමුදලට දායක වන ලෙස මෙරට පරිත්‍යාගශිලි ජනතාවගෙන් ජනාධිපති කාර්යාලය සිදු කළ ඉල්ලීම පරිදි රුපියල් මිලියන 20කට අධික මුදලක් මේ වන විට අරමුදල වෙත ලැබී ඇති අතර එම මුදල් ද ඉදිරියේ දී පලස්තීන රජය වෙත නිල වශයෙන් භාර දීමට නියමිතය.

    2024 අප්‍රේල් 30 දක්වා පමණක් පරිත්‍යාගශීලි ජනතාවට මෙම අරමුදල වෙත තවදුරටත් දායක වීමට අවස්ථාව සලසා දී තිබෙන අතර ඒ සඳහා දායකවීමට කැමති පරිත්‍යාගශීලීන් වේ නම්, එම පරිත්‍යාගයන් අප්‍රේල් මස 30 වනදාට පෙර ලංකා බැංකුවේ (7010), තැප්‍රොබේන් ශාඛාවේ (747) පිහිටි ගිණුම් අංක 7040016 වෙත තැන්පත් කර ඊට අදාළ රිසිට්පත 077-9730396 වෙත WhatsApp මඟින් යොමු කරන ලෙස ජනාධිපති කාර්යාලය දැනුම් දී සිටි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.