සංචාරකයන් ප්‍රවාහනය කිරීම සඳහා භාවිත කිරීම පිණිස වෑන් සහ බස් රථ 1000ක් ආනයනයට අවසර දීමට රජය පියවර ගෙන තිබේ.
ඒ අනුව ආසන 6 – 15 වෑන් රථ (විදුලි සහ දෙමුහුන් රථ ඇතුළුව) 750ක් සහ ආසන 16-30 කුඩා ප්‍රමාණයේ බස් රථ හා ආසන 30-45 බස් රථ 250ක් ආනයනය කිරීමට මෙසේ අවසර ලබාදෙනු ඇත.
සංචාරක කර්මාන්තයේ වර්ධනය සඳහා අත්‍යවශ්‍ය වාහන ආනයනය කිරීමේ අවශතාව හඳුනාගනු ලැබූ බව රජය කියයි.
කෙසේවෙතත් මෙම වාහන ආනයනයට අවසර ඇත්තේ කාටදැයි අනාවරණය කර නැත.
සංචාරකයන් ප්‍රවාහනය කිරීම සඳහා භාවිත කරනු ලබන වාහනවල කාලය වසර 06ක් නොඉක්මවීම සාමාන්‍යයෙන් සංචාරක කර්මාන්තය තුළ පිළිගත් සිරිතක් ලෙස සැළකේ.
එහෙත් වාහන සහ අත්‍යවශ්‍ය අමතර කොටස් ආනයනය කිරීම සීමා කිරීම හේතුවෙන් සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවාහන කටයුතු සඳහා භාවිතා කරනු ලබන වාහනවල තත්ත්වය සතුටුදායක හා ප්‍රමාණවත් නොවන බව පෙනී ගොස් ඇත.
එමෙන්ම යල්පැනගිය වාහන භාවිතය හේතුවෙන් ප්‍රමුඛතම සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව අත්කර ගෙන සිටින කීර්ති නාමයට යම් හානියක් සිදු කරන බවත් පෙනී ගොස් ඇති බව රජය කියයි.
එබැවින්, ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවන ක්‍රියාවලිය තුළ සංචාරක කර්මාන්තයේ දායකත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව රජය දන්වා සිටී.
සංචාරක හා ඉඩම් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ මේ පිළිබඳ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.