fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පැය 48න් මියයන ජපානයේ රෝගය ගැන ලාංකිකයන්ට පණිවිඩයක්

    පැය 48න් මියයන ජපානයේ රෝගය ගැන ලාංකිකයන්ට පණිවිඩයක්

    ජපානයේ සීඝ්‍රයෙන් පැතිරෙන දුර්ලභ බැක්ටීරියා ආසාදනය සම්බන්ධයෙන් මෙරට ජනතාව අනියත බියක් ඇති කරගැනීමට අවශ්‍ය නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පවසයි.

    එය සාමන්‍ය ජනතාව අතර තියෙන බැක්ටීරියා තත්ත්වයක් බවත්, කලාතුරකින් එහි ප්‍රතිඵලයක් සහ සංකූලතාවයක් ලෙස මාරාන්තික තත්ත්වයකට යා හැකි බවත් හෙතෙම පෙන්වා දේ.

    ප්‍රතිජීවක ඖෂධවලින් මෙය වෙනස් කිරීමට හැකියාව පවතින නමුත් කලාතුරකින් ප්‍රතිජීවක ඖෂධවලට ප්‍රතිරෝධයක් දක්වන බැක්ටීරියා තිබිය හැකි බව ඔහු අවධාරණය කර සිටී.

    පැය 48 ක් ඇතුළත මිනිසුන් මරා දැමිය හැකි දුර්ලභ ගණයේ ‘මාංශ අනුභව කරන බැක්ටීරියාවක්’ නිසා ඇතිවන රෝගයක් ජපානයේ ව්‍යාප්ත වෙමින් පවතින බව බ්ලූම්බර්ග් පසුගිය සෙනසුරාදා වාර්තා කළේය.

    Streptococcal toxic Shock syndrome (STSS) යනුවෙන් හඳුන්වන මෙම බැක්ටීරියාව ආසාදනය වී පැය 48ක් ඇතුළත මාරාන්තික විය හැකි ආක්‍රමණශීලී රෝගයක් බව එහි සදහන් විය.

    මේ වසරේ ජුනි 02 වැනිදා වනවිට ජපානයේ රෝගීන් 977 ක් වාර්තා වී ඇත.

    1999 වසරේ සිට මෙම රෝගයේ සිදුවීම් නිරීක්ෂණය කරමින් සිටින ජාතික බෝවන රෝග පිළිබඳ ආයතනයට අනුව, පසුගිය වසරේ වාර්තා වූ වාර්තාගත රෝගීන් 941 ට වඩා මේ වසරේදී රෝගීන්ගේ ඉහළයාමක් වාර්තා වී තිබේ.

    සාමාන්‍ය රෝග ලක්ෂණ ලෙස ළමුන් අතර ඉදිමීම සහ උගුරේ අමාරුව ඇති කරන නමුත් සමහර බැක්ටීරියා මගින් අත් පා වේදනාව සහ ඉදිමීම, උණ, අඩු රුධිර පීඩනය ඇතුළුව රෝග ලක්ෂණ වේගයෙන් වර්ධනය වීමට හේතු විය හැකි බවත් හුස්ම ගැනීමේ ගැටළු, ඉන්ද්‍රිය අක්‍රිය වීම සහ මරණය දක්වා උග්‍ර වන බවට එම වාර්තාවේ සඳහන් විය.

    ටෝකියෝ කාන්තා වෛද්‍ය විශ්ව විද්‍යාලයේ බෝවන රෝග පිළිබඳ මහාචාර්ය කෙන් කිකුචි පැවසුවේ ‘බොහෝ මරණ පැය 48ක් ඇතුළත සිදුවන බවයි.’ ‘රෝගියෙකුට උදේ පාදයේ ඉදිමුම දුටු විගස එය දවල් වන විට දණහිස දක්වා ප්‍රසාරණය විය හැකි අතර පැය 48ක් ඇතුළත ඔවුන් මිය යා හැකියි.’ යනුවෙන් ඔහු පැවසීය.

    ජපානයේ වර්තමාන ආසාදන අනුපාතය අනුව, මේ වසරේ රෝගීන් සංඛ්‍යාව 2,500 දක්වා ළඟා විය හැකි බවත්, මරණ අනුපාතය ‘භයානක ලෙස’ 30% ක් වනු ඇති බවත් කිකුචි අවධාරණය කළේය.

    මහාචාර්ය කිකුචි ජනතාවගෙන් ඉල්ලා සිටියේ අත් සනීපාරක්ෂාව දැඩි ලෙස පවත්වා ගෙන යන ලෙසත් සිරුරේ විවෘත තුවාලවලට වහා ප්‍රතිකාර කරන ලෙසත්ය.

    බ්ලූම්බර්ග් වාර්තාවට අනුව ජපානයට අමතරව තවත් රටවල් කිහිපයක්ම මෑත කාලීනව මෙම රෝගය ව්‍යාප්ත වී තිබේ.

    2022 අග භාගයේදී අවම වශයෙන් යුරෝපීය රටවල් පහක් ආක්‍රමණශීලී කාණ්ඩයේ මෙම බැක්ටීරියාව ව්‍යාපාත්ව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයට වාර්තා කර ඇත.

    ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ කොවිඩ් සීමා කිරීම් අවසන් වීමෙන් පසුව මෙම රෝගීන්ගේ වැඩිවීමක් සිදුව ඇති බවයි.

    ප්‍රබෝධා හෙට්ටිආරච්චි

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img