fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"වර්ජකයන් ඉල්ලන පඩි වැඩිකිරීමට වැට් බදු වැඩිකරන්න වෙනවා" -රජය

    “වර්ජකයන් ඉල්ලන පඩි වැඩිකිරීමට වැට් බදු වැඩිකරන්න වෙනවා” -රජය

    වර්ජනයේ නිරත රාජ්‍ය සේවකයින් ඉල්ලා සිටින වැටුප් වැඩිකිරීම ලබාදීමට කටයුතු කළහොත් සමස්ත ජනතාවට බලපාන පරිදි වැට් බදු වැඩිකිරීමට සිදුවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) පැවති හමුවේදී සාකච්ඡා කර තිබේ.

    ඒ අනුව දැනට පනවා තිබෙන 18% ක් වූ වැට් බද්ද 20% – 21%ත් අතර අගයකට ඉහළ නැංවීමට සිදුවනු ඇති බව එහිදී අවධාරණය කර ඇත.

    රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති විසින් ඉදිරිපත් කර ඇති ඉල්ලීම් සම්බන්ධව ජනාධිපති කාර්යාලයේදී අද (08) පැවති සාකච්ඡාවේදී භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා මේ බව පවසා ඇත.

    කෙසේවෙතත් මහජනතාව පීඩාවට පත් කරමින් එවැනි ඉල්ලීමක් සපුරාලීමට රජයට හැකියාවක් නොමැති බවත් එම සාකච්ඡාවේදී පෙන්වා දී ඇත.

    රාජ්‍ය අංශයේ සේවකයන් වර්ජනය කරමින් ඉල්ලන රු. 20,000ක මාසික වැටුප් වැඩිකිරීමට නම් රජයට සිදුවන වාර්ෂික වියදම රු. බිලියන 275 ක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

    එය දළ දේශීය නිෂ්පාදිතයෙන් 1%ක් වන අතර රජයට සැලකිය යුතු මූල්‍ය අභියෝගයක් බව හෙතෙම කියාසිටී.

    “මෙම වියදම් පියවා ගැනීම සඳහා වෙනත් මූල්‍ය ගැලපීම් ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත් වේ. මෙය ක්‍රියාත්මක කළ හැකි එක් ක්‍රමයක් වන්නේ වැට් බද්ද 4% කින් වැඩි කිරීම, එය ආසන්න වශයෙන් 22% දක්වා ඉහළ නැංවීම හෝ ආයතනික බදු අනුපාතය 42% දක්වා ඉහළ නැංවීමයි. එවැනි වැඩිවීමක් ආර්ථිකය තවදුරටත් පීඩාවට පත් කළ හැකි අතර, ප්‍රාථමික අයවැය හිඟය වැඩි කිරීමට, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රයත්නයන් අනතුරේ හෙළීමට සහ IMF වැඩසටහන නිසි මාර්ගයෙයන් ඔබ්බට යාමට හේතු විය හැක. මෙය 2022 දී අත්විඳින ලද දරුණු ආර්ථික හා සමාජීය තත්ත්වයන් වෙත නැවත පැමිණීමට හේතු විය හැක. ආර්ථික ප්‍රකෘතිය සහ වර්ධනය සඳහා වන මාවත සඳහා සෑම පුද්ගලයෙකුගේම, ප්‍රජාවකගේම සහ ආයතනයක සහයෝගීතාව අවශ්‍ය වේ. ඔබගේ අඛණ්ඩ සහයෝගය ඇතිව, අපට මෙම අභියෝගවලට මුහුණ දෙමින් වඩාත් ශක්තිමත් ආර්ථිකයක් කරා වැඩ කළ හැක.” යැයි ද මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.