fbpx
තවත්
    මුල් පිටුවspecialමව්බිම හැරගොසින් වරිගයම රැකගත්ත 'ඩේවිඩ් පියතුමාගේ මුවා'

    මව්බිම හැරගොසින් වරිගයම රැකගත්ත ‘ඩේවිඩ් පියතුමාගේ මුවා’

    වඳවීයාමට ඉතාමත් ආසන්න හෙවත් අතිශයින් අවදානම් තත්වයකට පත්වීමෙන් පසුව යලිත් සාර්ථකව ගහනයක් ඇති කරලීම පිණිස පරිස්ථානීය සංරක්ෂණය (ඇතැම් සඳහන් කිරීම් අනුව පරිබාහිර හෙවත් විතැන් සංරක්ෂණය) (Ex-situ Conservation) යොදාගත් අවස්ථාවන් අතුරින් අතිවිශේෂ වන්නේ ඩේවිඩ් පියතුමාගේ මුවාගේ සිද්ධියයි. පරිස්ථානීය සංරක්ෂණය යන්නෙන් අදහස් කරන්නේ ස්වභාවික පරිසරයෙන් බැහැර ස්ථානයකදී, එනම් සත්වෝද්‍යානයක හෝ උද්භිද අද්‍යානයක හෝ එවන් රැඳවුම් ස්ථානයක​, සිදුකරන අභිජනනයෙන් කිසියම් සත්ව හෝ ශාක විශේෂයක් ආරක්ෂා කිරීමයි.

    ආමන්ඩ් ඩේවිඩ් පියතුමා (Father Armand David)

    19 වැනි සියවසේ දෙවන භාගයේදී මිශනාරි කටයුතු සඳහා චීනයට ගිය ප්‍රංශ ජාතික පූජකවරයෙකු වන ආමන්ඩ් ඩේවිඩ් පියතුමා (Father Armand David) විසින් 1866 දී ලබාගත් සම් සහ සතෙකු ආධාරයෙන් නව විශේෂයක් ලෙස නම් කරන ලද මෙම මුවා ඔහුට උපහාරයක් වශයෙන් ලෙස නම්කර තිබේ. පූජකයෙකු සහ මිශනාරි කාර්‍යයට චීනයට ගියද​, උද්භිද සහ සත්ව විද්‍යාඥයෙකු වූ ඩේවිඩ් පියතුමා සතුන් සහ ශාක ගවේෂණයට සහ නව විශේෂවල නිදර්ශක රාශියක් තම රටට එවීමට කටයුතු කළ අයෙකි. යෝධ පැන්ඩා විදු ලොවට හඳුන්වා දුන්නේත් ඔහු බව බොහෝ දෙනෙක් නොදන්නා කරුණකි.

    ගිම්හාන ඍතුවේදී රතු දුඹුරු පාටිනුත්, ශීත ඍතුවේදී තද අලු පාටිනුත් යුත් මේ මුවා මීටර් 1.2 උරහිස් උසකින් සහ මීටර් 2.2 පමන දිගකිනුත්, කිලෝග්‍රෑම් 200 තක් බරකටත් වැඩෙන මෙම මුවාගේ පිරිමි සතුන් අතු බෙදී තිබෙන විශාල අං යුගලක් දරයි. නමුත් ගැහැනු සතා අං නොදරයි. එසේම සාමාන්‍යයෙන් මුවෙක් දරනා වලිගයට වඩා දිගු, එනම් සෙ.මී 60-66 තෙක් දිගු වලිගයක් දැරිම විශේෂිත ලක්ෂණයකි.

    අතීතයේදී චීනයේ විශාල ව්‍යාප්තියක් දරා තිබෙන මේ මුවා 19 වන සියවසේ දෙවන භාගය වනවිට එනම් ඩේවිඩ් පියතුමාගේ කාලය වන ව්ට බීජින් නගරය ආසන්නයේ තිබූ රාජකීය දඩයම් උද්‍යානයේ සැරිසරන රංචුවකට සීමාවී සිටි සහ ස්වභාවික පරිසරයෙන් වඳකර දමනු ලැබූ සත්වයෙකු වූ බව සැලකේ. මෙම දැකුම්කළු මුවාගේ නම් කිරීමෙන් පසුව යුරෝපයේ සත්වෝද්‍යාන කීපයක් විසින් ඉතා අපහසුවෙන් මෙම මුවන් සුලු ගණනක් ලබාගැනීමට සමත්වී තිබුණි.

    චීනයේ 1895 ඇතිවූ විශාල ගංවතුරෙන් රාජකීය දඩයම් උද්‍යානයේ තාප්පයක් කැඩීගොස් ඉවතට පැනගිය මුවන් සියල්ලන්ම මිනිසුන් විසින් මරාදැමීම නිසා ඉතිරිව සිටි 20 දෙනෙකුගේ පමණ මුව රංචුව 1900 දී චීනයේ බොක්සර් කැරැල්ල (Boxer Rebellion) මර්දනයට එරටට පැමිණි විදේශීය හමුදා නිසා ඝාතනය වීමත් සමඟ ඩේවිඩ් පියතුමාගේ මුවා ස්වභාවික පරිසරයෙන් වඳවී ගිය සතෙකු බවට පත්විය​. මේ මුවාගේ ඉතිරිව සිටියේ යුරෝපීය සත්වෝද්‍යාන කීපයක විසිරී සිටි සතුන් සුලු ගණනකිනි.

    බ්‍රෙඩ්ෆඩ් ආදිපාද හර්බ්‍රන්ඩ් රසල් (Herbrand Russel)

    ඩේවිඩ් පියතුමාගේ මුවා වඳවී යාමෙන් බේරාගැනීමේ ගෞරවය හිමි වන්නේ බ්‍රිතාන්‍යයේ බ්‍රෙඩ්ෆඩ් ආදිපාදවරයෙකු වූ හර්බ්‍රන්ඩ් රසල් (Herbrand Russel) වෙතටය​. ඔහු තම පුද්ගලික ධනය ආධාරයෙන් යුරෝපයේ සත්වෝද්‍යාන තුළ සිටි ඩේවිඩ් පියතුමාගේ සියලුම මුවන් මිලයට ගෙන තමන්ට අයත් භූමියක ඔවුන් අභිජනනය සඳහා අවස්ථාව ලබාදෙන ලදී. ඉන් පසුව ඇතිවූ ලෝක යුද්ධ දෙකක් ඇතුලු විවිධ දුෂ්කරතා හමුවේ වුවද ඔහු මෙන්ම ඔහුගෙන් පසු ඔහුගේ පුත් හේස්ටිංස් රසල් කටයුතු කර තිබේ.

    මෙහි ප්‍රතිපලය වූයේ සාර්ථක අභිජනන වැඩපිළිවෙළක් තුළින් ඇති කරගත් ඩේවිඩ් පියතුමාගේ මුවාගේ පරිස්ථානීය ගහනයෙන් ලබාගත් සතුන් 1985 සිට යළිත් චීනයට ලබාදීම තුළින් මෙම සත්වයා චීනයට යළිත් හඳුන්වාදීමක් සිදුකිරීමට හැකියාව ලැබීමයි. මේ වනවිට ඔවුන් චීනය තුළ සාර්ථකව අභිජනනය කර පරිස්ථානීය ගහනයන් ගනනාවක් ඇතිකර ගෙන තිබීමයි. එසේ වුවද චීනයේ ස්වභාවික පරසර තුල සාර්ථකව අභිජනනය වන ගහනයන් තවමත් ඇතිකර නොමැති නිසා ලෝක සංරක්ෂණ සංගමයේ රතු දත්ත ලේඛනයේ තිබෙන්නේ ස්වභාවික පරිසරයෙන් වඳවී ගිය විශේෂයක් ලෙසිනි.

    (මුවාගේ සහ පුද්ගල ඡායාරූප: Animal Photos සහ Wikipedia ඇසුරිනි.)

    ආචාර්ය ජගත් ගුණවර්ධන

    පාරිසරික නීතිඥයෙකු හා ක්‍රියාකාරිකයෙකු වන ජගත් ගුණවර්ධන මහතා දශක තුනක් පුරාවට ශ්‍රී ලංකාවේ වනජීවී, ශාක, සත්ත්ව විශේෂ සහ පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා තම ජීවිතය කැප කර ඇත.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ආචාර්ය ජගත් ගුණවර්ධන
    පාරිසරික නීතිඥයෙකු හා ක්‍රියාකාරිකයෙකු වන ජගත් ගුණවර්ධන මහතා දශක තුනක් පුරාවට ශ්‍රී ලංකාවේ වනජීවී, ශාක, සත්ත්ව විශේෂ සහ පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා තම ජීවිතය කැප කර ඇත.

    ඔබේ අදහස් දක්වන්න.