fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්ජනපතිව තෝරගන්නේ 'ආර්ථිකය' ගැන හිතලා: හොයාගන්නේ 'මාධ්‍ය' දිහා බලලා -සමීක්ෂණයක්

    ජනපතිව තෝරගන්නේ ‘ආර්ථිකය’ ගැන හිතලා: හොයාගන්නේ ‘මාධ්‍ය’ දිහා බලලා -සමීක්ෂණයක්

    ඉදිරි ජනාධිපතිවරණයේදී මෙරට 90%ක පමණ අතිමහත් බහුතරයක් ඡන්දය ප්‍රකාශ කිරීමට උනන්දුවක් දක්වන බවත් එහිදී සියලු ජාතීන් ප්‍රමුඛතාව දී ඇත්තේ ‘ආර්ථිකය’ යන සාධකයට බවත් නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ.

    නීතිය සහ සමාජ භාරය විසින් ‘2024 ජනාධිපතිවරණය: ජනතාවගේ අභිලාෂයන්’ සම්බන්ධව සිදුකළ සමීක්ෂණයේදී මේ බව හෙළිවී ඇත.

    සිංහල, මුස්ලිම්, ශ්‍රී ලාංකික දෙමළ සහ මලයග (වතුකරයේ) දෙමළ ජනවාර්ගික කණ්ඩායම් හතරටම අයත් 2,868 දෙනකු සියලුම දිස්ත්‍රික් ආවරණය වන පරිදි ‍තෝරාගෙන, මුහුණට මුහුණ සම්බන්ධ කර ගනිමින් මෙම සමීක්ෂණය සිදු කර ඇත.

    එම සමීක්ෂණ වාර්තාව ඊයේ(10) දින කොළඹදි එළිදක්වමින් පර්යේෂකයන් අවධාරණය කළේ 2022 අරගලය ජනතා නැගීටීමෙන් පසු පැවැත්වෙන පළමු මැතිවරණය වන මෙවර ජනාධිපතිවරණය වෙන කවරදාවක් වඩා තරඟකාරී වී ඇති බවයි.

    කෙසේවෙතත් එක් එක් අපේක්ෂකයා සම්බන්ධයෙන් ජනතාවගේ මනාපය දැක්වෙන සොයාගැනීම් ප්‍රකාශයට පත්කළ නොහැකි බව මැතිවරණ කොමිසම විසින් දැන්වීම නිසා රටේ මැතිවරණවලට අදාළ නීති හා රෙගුලාසිවලට අනුව ඇතැම් කරුණු මෙම වාර්තාවෙන් ඉවත් කර තිබේ.

    හැමෝගෙම ආර්ථිකය එකවගේ නෑ

    මෙම සමීක්ෂණයේදී රධාන ජනවාර්ගික ප්‍රජාවන් 4 හි ම බහුතරයක් ප්‍රකාශ කර ඇත්තේ 2024 ජනාධිපතිවරණයේදී තම ඡන්දය ප්‍රකාශ කිරීමේදී අපේක්ෂකයාගේ ආර්ථිකය පිළිබඳ මතය වඩාත් තීරණාත්මක සාධකය බව ය.

    කෙසේ වෙතත්, ග්‍රාමීය, නාගරික සහ වතුකරයේ ප්‍රජාවන් අතර ඔවුනොවුන්ගේ ආර්ථිකය පිළිබඳ කාරණය පැහැදිලි කරන ආකාරයෙහි පැහැදිලි වෙනස්කම් දක්නට ඇත. බදු බර, භාණ්ඩ මිල සම්බන්ධ ගැටලු, රසායනික පොහොර මිල අඩු කිරීම, කෘෂි යන්ත්‍රෝපකරණ සඳහා බදු අඩු කිරීම, වගා හානිවලට වන්දි ලබාදීම, විශ්වවිද්‍යාල උපාධිධාරින්ගේ විරැකියාවට විසඳුම් ලබාදීම, ආහාර ද්‍රව්‍යවල මිල අඩු කිරීම, සහනාධාර ලබාදීම, පාසැල් දරුවන්ට දිවා ආහාර සහ නිල ඇඳුම් ලබාදීම, වැඩිහිටියන්ට ආධාර වැඩි කිරීම, වතුකරයේ වැඩ කරන ජනතාවගේ වැටුප් වැඩි කිරීම, මලයග ප්‍රජාවගේ ඉඩම් නොමැතිකම පිළිබඳ ප්‍රශ්නය විසඳීම, පශ්චාත් යුධ සමයේ ඉඩම් කොල්ලය සම්බන්ධ ගැටලු විසඳීම සහ රට හැර යන කාන්තාවන් සංඛ්‍යාව අඩු කිරීම යනාදී වූ ආර්ථිකමය අභිලාෂයන් විවිධ ප්‍රජාවන් වෙතින් ප්‍රකාශයට පත්වූ ආර්ථිකය පිළිබඳ කරුණු වේ.

    මුස්ලිම් ජනයා සොයන ‘නීතියේ ආධිපත්‍ය’

    සමීක්ෂණයේදී හෙළිවූ අනෙක් කරුණ නම්, මෙවර ජනාධිපතිවරණයේදී ජනතාව ආර්ථිකය යන්නට පසුව උනන්දු වන අනෙක් කරුණ වන්නේ නීතියේ ආධිපත්‍යය පිළිබඳව බවයි.

    විශේෂත්වය වන්නේ නීතියේ ආධිපත්‍යය ගැන වඩාත්ම උනන්දුවක් දැක්වු ප්‍රතිචාරකයින් වූයේ මුස්ලිම් ප්‍රජාවයි. ඔවුන් නීතියේ ආධිපත්‍යය යන්නෙන් අදහස් කළේ ඔවුන් අතීතයේ (විශේෂයෙන් පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව) අත්විඳින ලද වෙනස්කොට සැලකීම්වලට සහ අසාධාරණයන්ට එරෙහිව නීතිය රැකවරණය ලැබීමයි.

    ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ සිදුකරනු ලැබූ නිවාස සෝදිසි කිරීම සහ අත්අඩංගුවට ගැනීම් සිදුකිරීමේදී වෙනස්කොට සැලසීමක් සිදුවූ බව ඔවුහු විශ්වාස කරති. බොහෝ ප්‍රතිචාරකයෝ දූෂණ විරෝධය නීතිය සහ සාමය යන පුළුල් කාණ්ඩය යටතේ අර්ථ කථනය කර ඇත. විශේෂයෙන්ම නාගරික ප්‍රජාවේ ඇතැමුත් අවශ්‍ය නීතිමය ප්‍රතිසංස්කරණ නොමැතිකමින් වංචා දූෂණ සිදුකරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ඇති ඉඩකඩ පිළිබඳ බලාපොරොත්තුවක් නොමැති බව ප්‍රකාශ කර තිබේ.

    දෙමළ ජනතාවගේ අවශ්‍යතාව ‘ජාතික ප්‍රශ්නය’

    ඡන්දය ප්‍රකාශ කිරීමේදී තුන්වන වැදගත්ම සාධකය වී ඇත්තේ ජාතික ප්‍රශ්නයයි. ප්‍රධාන ජනවාර්ගික ප්‍රජාවන් හතර අතරින් ජාතික ගැටලුව ප්‍රමුඛ ලෙස සැලකු වැඩිම ප්‍රතිශතයක් ශ්‍රී ලාංකීය දෙමළ ප්‍රජාව අතර විය. ඔවුන්ට අනුව ඉඩම් මංකොල්ලය සහ යුද්ධයේදී සිදු වූ අසාධාරණයන් සහ දුක් ගැනවිලි ජාතික ප්‍රශ්නය විසඳීමේදී අත්‍යවශ්‍යයෙන් අදාල කරගත යුතු වේ.

    1990 ගණන්වල උතුරෙන් අවතැන් වූ මුස්ලිම්වරුන්ගෙන් සැලකිය යුතු පිරිසක් ජාතික ප්‍රශ්නයට ඕනෑම විසඳුමක පදනමේ ඉඩම් ප්‍රශ්නය විසඳීම තිබිය යුතු බව ප්‍රකාශ කළහ. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් විපතට පත් වුවන්ගේ (සිංහලයන්ගේ) අදහස වන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරය වැනි අනාගත අසාධාරණයන් සහ වින්දිත භාවයන් හමුවේ ජාතික ප්‍රශ්නයට වන ඕනෑම විසඳුමක් තුල සමාජ ආරක්ෂණ යාන්ත්‍රණයක් ද පැවතිය යුතු බවයි. ජාතික ප්‍රශ්නයට ලබාදුන් ප්‍රමුඛතාවය පොදුවේ ගත්කළ ආර්ථික සාධකයට වඩා සියලු ජන කොටස් අතර අඩු මට්ටමක පැවතීම විශේෂත්වයකි.

    ගැළපෙන ජනපති කවුද කියලා හොයාගන්නේ මාධ්‍ය දිහා බලලා

    සමීක්ෂණයෙන් අනාවරණය වූ කරුණවලට අනුව මෙරට බහුතරය තමාට ගැළපෙන අපේක්ෂකයා කවුදැයි යන්න තෝරාගැනීම සඳහා මූලාශ්‍රයක් ලෙස භාවිත කරනුයේ විද්‍යුත් හා සමාජ මාධ්‍ය ඇතුළුව ‘මාධ්‍ය’ බවට අනාවරණය වූයේ යැයි නීතිය හා සමාජ භාරයේ ජ්‍යේෂ්ඨ පර්‍යේෂක විදුර මුණසිංහ මහතා පැවසීය.

    කලක් තිස්සේ මැතිවරණ වේදිකාවේ පට්ට ගැසූ කාරණයට කිසිම තැනක් නැති පළමු ඡන්දය

    දශක ගණනාවක් තිස්සේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවලදී ජාතික ප්‍රශ්නය සහ ජාතිකවාදය අඩු ප්‍රමුඛතාවක් හිමිකරගත් පළමු ජනාධිපතිවරණය මෙය බව සමීක්ෂණ වාර්තාව පෙන්වා දෙයි. කෙසේ වෙතත්, ජනවාර්ගික ආතතීන් ප්‍රමුඛ සාධක ලෙස මතු නොවිය හැකි වුවද, ජාතික ප්‍රශ්නයේ වැදගත්කම අප සමාජය තුළ වියැකී ගොස් ඇතැයි අපට නිගමනය කළ නොහැක. උදාහරණයක් වශයෙන්, “මොන දේ සිද්ධ වුණත් කාටවත් රට බෙදන්න දෙන්න බෑ” වැනි ප්‍රකාශ සිංහල වග උත්තරකරුවන්ගෙන් නිතර ප්‍රකාශ විය.

    ආර්ථිකය යන කරුණ තුළ ගිලී ගිය ද වාර්ගික දුක්ගැනවිලි සහ ජාතිකවාදය මැකී ගොස් නැති අතර ජාතිය යළි ගොඩනැගීමේ අවශ්‍යතාවය තවදුරටත් ප්‍රමුඛතාවයක් ලෙස පවතී. ඊට සමගාමීව, නීතියේ ආධිපත්‍යය ස්ථාපිත කිරීම සඳහා ජනතාව අපේක්ෂා කරති. මේ සන්දර්භය තුල 2024 ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරන කවර හෝ අපේක්ෂකයා සම් බන්ධයෙන් වන ජනතා අභිලාෂයන් බෙහෙවින් ඉහල මට්ටමක පවතී.

    පොහොට්ටුවේ බිඳවැටීමෙන් උඩුයටිකුරු වූ ශ්‍රී ලංකාවේ දේශපාලනය

    කොළඹ විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨයේ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා එහිදී මෙසේ පැවසීය.

    “පසුගිය ජනාධිපතිවරණ ඡන්ද විමසීම් ළංවෙද්දී කවුද දිනන්නේ යන වග කලින් දැනගන්න පුළුවන් තත්ත්වයක් තිබුණේ. නමුත් මෙවර ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රතිඵලය පුරෝකථනය පවා අපහසු තත්ත්වයක් මතුවී තිබෙනවා. ඡන්ද දායකයන්ගේ ආකර්ෂණයේ මෙවර ව්‍යුහාත්මක වෙනසක් ඇතිවෙලා තියෙනවා. වර්තමානයේ නිකුත් වන සමීක්ෂණ වාර්තාවලින් මේ බව පෙනීයනවා. ගෙවුණු වසර 20ක පමණ කාලයක් තිස්සේ සිංහල බෞද්ධ සමාජය තුළ ප්‍රධාන ඡන්ද ආකර්ෂණය පැවති, පසුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බවට පත්වුණු මහින්ද රාජපක්ෂ මහත්මයාගේ නායකත්වයෙන් යුත් දේශපාලන කඳවුර, පහුගිය ආර්ථික අර්බුදය සහ අරගලය ජනතා නැගිටීමෙන් පසුව බිඳවැටීම මෙහිදී මූලික සාධකයක් බවට පත්වෙලා තියෙනවා.”

    මීළඟ ජනපති පොරොන්දු කඩකළොත් ආයෙත් ‘අරගලයක්’ එයිද?

    කෙසේවෙතත් මෙම සමීක්ෂණ වාර්තාවේ දත්තවලට අනුව ජයග්‍රහණය කොට ජනපති වන පුද්ගලයා ජනතාවගේ විශ්වාසය කඩකළහොත් පෙර අවස්ථාවේදී සිදුවූවා සේ අරගලයකින් ගෙදර යවන්නට ජනතාවගේ සූදානමක්  නොමැති බව ද පෙනී යයි.

    ‘2024 ජනාධිපතිවරවණය: මහජන අභිලාෂයන්’ සමීක්ෂණ වාර්තාව පහතින් දැක්වේ. මැතිවරණ කොමිසමේ දැනුම් දීමට අනුව ඉවත් කරන ලද කොටස් සහිත සම්පූර්ණ වාර්තාව ජනාධිපතිවරණයෙන් පසුව www.lst.lk එහි නිල වෙබ් අඩවියෙන් ලබාගත හැකි බව ද නීතිය හා සමාජ භාරය පැවසීය.

    Sinhala
    ප්‍රබෝධා හෙට්ටිආරච්චි

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img