පොලිස්පති ධුරයේ රාජකාරී හා වගකීම් ඉටුකිරීමෙන් දේශබන්දු තෙන්නකෝන් මහතා වළක්වාලමින් නිකුත් කර ඇති අතුරු තහනම් නියෝගය ඉවත් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කර ඇති අතරමැදි පාර්ශව පෙත්සමක් විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (18) තීරණය කළේය.
අදාළ අතුරු තහනම් නියෝගය වෙනස් කිරීම හෝ ඉවත් කිරීම ද ප්‍රතික්ෂේප කරන ලදී.
අදාළ පෙත්සම විභාගය ගැනීමට තරම් නෛතික පදනමක් නොමැති බවට තීරණය කිරීමෙන් අනතුරුව මෙම ඉවත දැමීමට තීරණය කෙරිණ.
යසන්ත කෝදාගොඩ, අචල වෙන්ගප්පුලි සහ මහින්ද සමයවර්ධනය යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ එම පෙත්සම කැඳවූ අවස්ථාවේදී මේ බව තීරණය කෙරිණ.
වෙනත් නඩු කටයුත්තක් විභාග කිරීමට විනිසුරු මඩුල්ලේ සාමාජිකයන් දෙදෙනෙකුට නියමිතව තිබීම නිසා මෙම පෙත්සම සම්බන්ධයෙන් වාචික කරුණු සලකා බැලීමට තරම් ප්‍රමාණවත් කාලයක් නොමැති බවට එහිදී ප්‍රකාශ කරන ලදී.
එසේම එම අතරමැදි පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහාර ද සිල්වා මහතා වෙනත් නඩු කටයුත්තකට පෙනී සිටීමට නියමිත
බවද එහිදී සඳහන් කෙරිණි.
අතරමැදි පෙත්සම්කාර භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහාර ද සිල්වා මහතා මීට පෙර දින අධිකරණය හමුවේ වාචිකව කරුණු ඉදිරිපත් කළේය .
එබැවින් මෙම පෙත්සම සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් වී ඇති කරුණු සැලකිල්ලට ගෙන ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ලබාදීමට විරුද්ධ වන්නේදැයි දෙපාර්ශවයේ නීතිඥවරුන්ගෙන් විනිසුරු මඩුල්ල එහිදී විමසා සිටියේය.
ඒ සඳහා විරෝධයක් නොමැති බවට නීතිඥවරු දන්වා සිටියහ.
ඒ අනුව අධිකරණය හමුවට මේ වන විට ඉදිරිපත් කර ඇති කරුණු සැලකිල්ලට ගනිමින් තීන්දුවක් ලබාදීමට තීරණය කළ විනිසුරු මඩුල්ල කරුණු තුනක් මත අදාළ අතරමැදි පාර්ශව කරුවන්ගේ පෙත්සම ප්‍රතික්ෂේප කිරීමට තීරණය කළේය.
ප්‍රමාණවත් කාල පරාසයකදී මෙම පෙත්සම ඉදිරිපත් කර නොතිබීම , බැලූ බැල්මට නඩුකරය ක් පවත්වාගෙන යාමට තරම් කරුණු ඉදිරිපත් කර නොතිබීම සහ මෙම අතුරු නියෝගය ලබාදීමට අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් මෙම අතරමැදි පෙත්සම්කරුවන්ට ඇති නීතිමය සම්බන්ධතාවය පිළිබඳව අධිකරණය හමුවේ නිසි ලෙස කරුණු තහවුරු නොකිරීම යන කරුණු මත මෙම පෙත්සම ප්‍රතික්ෂේප කිරීමට විනිසුරු මඩුල්ල තීරණය කළේය.
ඒ අනුව පොලිස්පති ධූරයේ කටයුතු කිරීමෙන් දේශබන්දු තෙන්නකෝන් මහතා වළක්වමින් නිකුත් කළ අතුරු තහනම් නියෝගය වෙනස් කිරීම හෝ ඉවත් කිරීම ද අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන බව එහිදී සඳහන් කෙරිණ.
අදාළ පෙත්සම් සම්බන්ධයෙන් කරුණු සලකා බැලීම පෙර නියම කරල පරිදි සිදු කරන බව විනිසුරු මඩුල්ල එහිදී සඳහන් කළේය.
බෙල්ලන්විල රජ මහා විහාරාධිපති ආචාර්ය. බෙල්ලන්විල ධම්මරතන නාහිමි , පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ජෙයෂ්ඨ මහාචාර්ය කොටපිටියේ රාහුල හිමි සහ කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය, අගළකඩ සිරිසුමන හිමි විසින් මෙම අතරමැදි පාර්ශව පෙත්සම ඉදිරිපත් කර තිබුණි .
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස් පතිවරයා ලෙස පත් කිරීම ට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් වලට අදාළ ඉකුත් ජූලි මස 27වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළ බව එහි දැක්විණි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ නිර්දේශ මත පොලිස්පතිවරයා පත් කිරීමේ බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට හිමිවී තිබෙන බව පෙත්සම මගින් පෙන්වා දී තිබුණි.
ව්‍යවස්ථාදායක සභාවේ තීරණ වලට බලපෑම් හා මැදිහත්වීම් සිදුකිරීම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වන අතර
ජනතා පරමාධිපත්‍යය උල්ලංඝනය කිරීමක් බව පෙත්සමෙහි සදහන් විය.
මැතිවරණ කටයුතු වලට අවශ්‍ය පොලිස් නිලධාරීන් යෙදවීම සහ ඊට අදාළ ආරක්ෂක කටයුතු මෙන්ම පශ්චාත් මැතිවරණ කාලයේ නීතිය සහ සාමය පවත්වාගෙන සම්බන්ධයෙන් විධාන නිකුත් කිරීම සඳහා වන බලය පොලිස්පතිවරයා වෙත පමණක් පැවරී ඇති බව පෙත්සමෙහි සදහන් විය.
එවැනි විධාන ක්‍රියාත්මක කිරීමටවෙනත් අයෙකුට නොහැකි බව ද පෙත්සම මගින් පෙන්වා දී තිබුණි.
ඒ අනුව අදාළ අතුරු තහනම් නියෝගයක් ලබා දුන් පෙත්සම වලට අතරමැදි පෙත්සම්රුවන් වශයෙන් මැදිහත් වීමට අවසර දෙන ලෙස පෙත්සම්කාර හිමිවරු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.
එසේම පොලිස්පතිවරයාගේ පත්වීමට එරෙහිව ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස මෙම පෙත්සම් මගින් ඉල්ලා තිබුණි.