පුද්ගලයින් පිරිසකට පහරදී පොලිස් අණ නොතකා ධාවනය කළ ත්‍රීරෝද රථයකට වෙඩි තබා පුද්ගලයකු ඝාතනයකර දෙදෙනෙකුට තුවාල සිදුකිරීමක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ පොලිස් නිලධරියෙකුට සහ සිවිල් ආරක්ෂක බලකා සෙබලු දෙදෙනෙකුට අම්පාර මහාධිකරණය විසින් ඊයේ (25) දඩුවම් නියමකරනු ලැබීය.
මෙසේ දඩුවම් නියමූයේ 2010 වසරේ මාර්තු 23 වෙනිදා මධ්‍යම කඳවුර පොලිස් ස්ථානයට අනුයුක්තව අංක 09 පොලිස් මුරපොලේ සේවයේ නිරතව සිටි පොලිස් කොස්තාපල් ප්‍රියන්ත කුමාර, සිවිල් ආරක්ෂක සෙබලුන් වන විමල් නන්දන හා අනුර ප්‍රදීප් ජයවර්ධන යන තිදෙනාටය.
මෙම නිලධාරීන් තිදෙනා පාමුර සංචාරයේ නිරතව සිටියදී මෙම සිදුවීම වී තිබේ.
අධිකරණය විසින් මේ අයට එරෙහිව ලබාදුන් තීන්දුවට අනුව පොලිස් කොස්තාපල් ප්‍රියන්ත කුමාරට එරෙහිව මිනීමැරුමක් නොවන සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමේ චෝදනාව සඳහා වසර 03 බැගින් බරපතල වැඩ සහිතව සිර දඩුවමක්ද රුපියල් 50,000ක දඩයක්ද, දඩ මුදල නොගෙවන්නේ නම් මාස 06ක සුළු වැඩ සහිත සිරදඩුවමක්ද, මිය ගිය අයගේ බිරිඳට රුපියල් 400,000 වන්දියක්ද වන්දිය නොගෙවන්නේනම් වසරක සුළු වැඩ සහිත සිරදඩුවමක්ද නියමකර ඇත.
සිවිල් ආරක්ෂක විමල් නන්දනට එරෙහිව මිනීමැරුමක් නොවන සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීමේ චෝදනාව සඳහා වසර 02ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්ද, රුපියල් 30,000ක දඩයක්ද දඩ මුදල නොගෙවන්නේනම් මාස 06ක සුළු වැඩ සහිත සිරදඩුවමක්ද, තුවාල කරුට රුපියල් 250,000ක වන්දියක්ද, එය නොගෙවන්නේ නම් වසරක සුළු වැඩ සහිත සිරදඩුවමක්ද නියමකර තිබේ.
සිවිල් ආරක්ෂක අනුර ප්‍රදීප් ජයවර්ධනට එරෙහිව මිනීමැරුමක් නොවන සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීමේ චෝදනාව සඳහා වසර 02ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්ද, රුපියල් 30,000ක දඩයක්ද දඩ මුදල නොගෙවන්නේනම් මාස 06ක සුළු වැඩ සහිත සිරදඩුවමක්ද, තුවාල කරුට රුපියල් 250,000ක වන්දියක්ද, එය නොගෙවන්නේ නම් වසරක සුළු වැඩ සහිත සිරදඩුවමක්ද නියමකර ඇත.