රිය අනතුරක් මුල්කරගෙන අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති නීල් රූපසිංහ මහතා සහ ගම්පහ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් කොස්තාපල් යසිත් ශානක මහතා අතර ඇතිවූ ගුටිබැට හුවමාරුවකින් අනතුරුව දෙදෙනාම වතුපිටිවල රෝහලට ඇතුලත්ව ඇත.
මෙම ගුටි බැට හුවමාරුව සිදුව ඇත්තේ පසුගිය 28 වෙනිදා රාත්‍රී කාලයේදී තිහාරියේදී බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
ගම්පහ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ කොස්තාපල් යසිත් ශානක මහතා රාජකාරි විවේකයෙන් පසු නිවසට ගොස් සිටියදී රාත්‍රී කාලයේ යතුරු පැදියක නැගී නිට්ටඹුව නගරය වෙත ගමන්කරමින් සිට ඇත්තේ කිරිපිටි පැකට්ටුවක් මිලදී ගැනීමේ අපේක්ෂාවෙනි. ඒ යන අතර මෙම නිලධාරියා ගමන් ගත් යතුරු පැදිය හා අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති නීල් රූපසිංහ මහතා ගමන්කරමින් තිබුණු යතුරුපැදිය තිහාරිය වාරණ පාරේ හිජ්රා මාවත හංදිය අසලදී හුවමාරුවන අතර තුර යතුරුපැදිවල පැති කණ්නාඩි දෙක එකිනෙක වැදී තිබේ. නීල් රූපසිංහ මහතා ගමන්කරමින් තිබුණු යතුරුපැදියේ පැති කණ්නාඩියට මෙහිදී හානි සිදුව තිබේ.
මෙම රිය අනතුර මුල්කරගෙන දෙදෙනා අතර බහින්බස් වීමක් ඇතිවී ඇත. එහිදී කොස්තාපල් යසිත් ශානක මහතා සිය පොලිස් හැදුණුම්පත පෙන්වා තමා පොලිස් නිලධාරියෙක් බව හදුන්වා දෙමින් ගැටුම සමථයකට පත්කර ගැනීමට උත්සහ දරා තිබේ. එය ගොඩින් විසදා ගැනීමට නොහැකිව දෙදෙනාම වීරගුල පොලිස් ස්ථානයට යාමට තීරණයකර ඇත. ඒ අනුව දෙදෙනා වීරගුල පොලිස් ස්ථානයට යමින් සිටියදී නැවතත් බහින්බස් වීමක් ඇතිවී එය ගුටිබැට හුවමාරුවක් දක්වා දුරදිගගොස් තිබේ.