එලමුල්ල ඔය රක්ෂිතයේ නිධන් හාරමින් සිටි සේවයඅතහැර ගිය පොලිස් කොස්තාපල්වරයෙක් ඇතුළු සැකකරුවන් 06 දෙදෙනක් මන්දාරම් නුවරදී අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට යාමේදී පළායමින් සිටි සැකකරුවෙක් අල්ලා ගැනීමට පන්නමින් සිටි පොලිස් සැරයන්වරයෙක් ලිස්සා බිම වැටෙන විට ගිනි අවිය ක්‍රියාත්මක වී ඇති අතර එහිදී පළායමින් සිටි සැකකරුවෙකුට වෙඩි වැදී තිබේ. ඒ සම්බන්ධයෙන් පොලිස් සැරයන්වරයාවද පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.
වෙඩි වැදුණු සැකකරු මාරස්සන මූනමලේ පදිංචි අවුරුදු 40ක් වයසැති අයෙකි. මන්දාරම් නුවර පොලීසියට ඇතුලත් කළ ඔහුගේ තත්ත්වය බරපතල වූ බැවින් මහනුවර රෝහලට මාරුකර තිබේ.
අත්අඩංගුවටගත් සැකකරුවන් අතර සිටින පොලිස් කොස්තාපල්වරයා කැකිරාව කුඹුක්වැව පදිංචිකරුවෙකි.
සෙසු සැකකරුවන් අතර මාරස්සන, මාතලේ සහ මැණික්හින්නේ පදිංචිකරුවන් සිටින බව පොලීසිය කියයි.
මෙම සැකකරුවන් පැමිණි ත්‍රී රෝද රථ දෙකක් සහ මෝටර් රථයක්ද පොලීසිය සිය භාරයට ගෙන තිබේ.
එලමුල්ල ඔය රක්ෂිතයේ පුද්ගලයින් පිරිසක් නිධන් හාරමින් සිටින බවට මන්දාරම්නුවර පොලිස් ස්ථානයේ නිලධාරීන්ට පසුගිය (30) අලුයම ලද තොරතුරකට අනුව නිලධාරීන් කණ්ඩායමක් එලමුල්ල ඔය රක්ෂිතය වෙත ගොස් ඇත. එහිදී සැකකටයුතු පුද්ගලයින් පිරිසක් රක්ෂිතය ආසන්නයේ මාර්ගය අසල රැදී සිටියදී පොලීසිය ඔවුන්ව පරීක්ෂාකර තිබේ. එහිදී සිය අනන්‍යතාව තහවුරුකිරීමට ඒ අය අසමත්වීම හේතුවෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ජිප් රථයට නැන්වීමට සූදානම්වන අවස්ථාවේදී එක් සැකකරුවෙක් පොලිස් කොස්තාපල්වරයෙකු පසෙකට තල්ලුකර දිවගොස් ඇතැයි පොලීසිය කියයි. එම අවස්ථාවේදී පොලිස් සැරයන්වරයෙකු සැකකරු පස්සේ පන්නා ඇති බවත් එහිදී එම නිලධාරියාගේ පය ලිස්සා ඇද වැටී ඇති බවත් පොලීසිය කියයි. එහිදී එම නිලධාරියාගේ රාජකාරි පැති අවිය ක්‍රියාත්මක වී පළායමින් සිටි සැකකරුට වැදී ඇති බව පොලීසිය කියයි.
මේ සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සැකකරුවන් සහ නිලධාරියා වලපනේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 10 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇතැයි පොලීසිය සඳහන් කරයි.