පින්නවල අලි අනාථාගාරයේ සෙවන ලබන කොටි නායක ප්රභාකරන්ට අයත් ව සිටියේ යැයි කියන මැණිකා ඇතින්න පහර දීමෙන් ඇත් ගොව්වෙක් ඊයේ (01) පෙරවරුවේ සුළු තුවාල ලබා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර තිබේ.
පහර කෑමට ලක්ව කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති ඇත් ගොව්වාට ඊයේ 01 නිවාඩු දිනයකි. පවුලේ සමාජිකයන් සමග ලෝක ළමා දිනය වෙනුවෙන් ඔහු ඊයේ අලි අනාථාගාරයට පැමිණ ඇත්තේ දරුවන්ට පින්නවල අලි අනාථාගාරය නැරඹීමට අවස්ථාවක් ලබාදීමටය.
එල්, ටී,ටී,ඊ හිටපු නායක වේලුපිල්ලේ ප්රභාකරන් විසින් ඇති දැඩි කරමින් සිටි මැණිකා ඇතින්න වේලුපිල්ලේ ප්රභාකරන්ගේ මරණයෙන් පසුව පින්නවල අලි අනාථාගාරයට භාර දී තිබුණි.
මෙම ඇතින්න සමග පහර කෑමට ලක්ව ඇති ඇත් ගොව්වා හා පවුලේ සමාජිකයින් ජායාරූපයක් ගැනීමට ගොස් ඇති අතර මැණිකා ඇතින්නගේ ඇත් ගොව්වා ද ඒ ආසන්නයේ සිට ඇති බව උසස් නිලධාරියෙක් පැවසීය.
ඇත් ගොව්වා සමග පවුලේ සමාජිකයින් මැණිකා ඇතින්න සමග සමූහ ජායාරූප ගනිමින් සිටිය දී ඇත් ගොව්වාට පහර දීමක් සිදු කර තිබේ. පසුව මැණිකා ඇතින්නගේ ඇත් ගොව්වා ඇතුළු පිරිසක් එක්ව පහර කෑමට ලක්වූ ඇත් ගොව්වා බේරාගෙන කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර තිබේ.