අන්තර්ජාලය ඔස්සේ සංවිධානාත්මක ලෙස මුදල් වංචා කළ චීන, ඉන්දියානු සහ තායිලන්තජාතිකයින්40 දෙදෙනක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විසින් අද කල වැටලීමකදී ගම්පහ හෝටලයකදීත් හංවැල්ලේ පුද්ගලික ආයතනයකත් රැදී සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.
සමාජ මාධ්‍ය ජාලා සහ දුරකථන ඇමතුම් මඟින් මූල්‍ය වංචා වල යෙදී සිටි මෙම විදෙස් ජාතිකයින් පිරිසක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලද තොරතුරකට අනුව එම ස්ථාන පරීක්ෂා කර එහි සිටි මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හා සැකකාරියන් අතර චීන ජාතික පිරිමි පුද්ගලයින් 29 ක්, හා කාන්තාවන් 01 ක්, ඉන්දීය ජාතික පිරිමි පුද්ගලයෙකු හා කාන්තාවන් 03 ක්, තායිලන්ත ජාතික පිරිමි පුද්ගලයින් 02 ක් හා කාන්තාවන් 04 දෙනෙකු වේ.
ඔවුන් සන්තකයේ තිබී මුල්‍ය වංචාවන් සිදු කිරීම සඳහා යොදාගන්නා ලද ජංගම දුරකථන 499 ක් ලැප්ටොප් 24 ක් හා ඩෙස්ක්ටොප් 29 ක් විමර්ශන නිලධාරින් භාරයට ගෙන ඇත. සැකකරුවන් සම්බන්ධයෙන් සිදු කළ වැඩිදුර විමර්ශනයේදී මොවුන් විසින් විවිධ ක්‍රම ඔස්සේ මූල්‍ය වංචාවල යෙදී සිට ඇති බවට නිරීක්ෂණය වී ඇති බව පොලිසිය පවසයි.
වංචාවල යෙදී ඇති එක් ක්‍රමයක් වන්නේ Investment scam – මෙම සැකකරුවන් මුහුණු පොත ඇතුළු සමාජ මාධ්‍ය ජාලා සහ දුරකථන ඇමතුම් ඔස්සේ හඳුනා ගන්නා විවිධ පුද්ගලයින් හට මුදල් ආයෝජනය කිරීමට පොළඹවා මුදල් ලබා ගැනිම් සිදු කර ඇත. මේ සඳහා පූර්ව සූදානම් කර ගත් විවිධ භාෂාවන්, ඇමතුම් සංවාද, කෙටි පණිවිඩ යොමු කිරීම් ප්‍රධාන වශයෙන් සිදු කර ඇති බවට නිරීක්ෂණය වී ඇති බව පොලිසිය සඳහන් කරයි.
තවත් වංචාකළ ක්‍රමයක් වන්නේ Pig butchering Scam යන ක්රමයවේ. මෙහිදී සමාජ මාධ්‍ය හරහා හදුනාගත් මැදි වයසේ සහ වැඩිහිටි තැනැත්තන් සමඟ ව්‍යාජ ආදර සම්බන්ධතා ඇති කර ගෙන එම විශ්වාසය මත විවිධ පැකේජයන් ලෙස මුදල් තැන්පත් කිරීමට පොළඹවා ඇති බවට නිරීක්ෂණය වී තිබේ.
එමෙන්ම මෙම කඳවුරේ සේවයේ යෙදී සිටින තැනැත්තන් විසින් නැගෙනහිර ආසියානු රටවල් වන චීනය, ඉන්දුනීසියාව හා තායිලන්තය වැනි රටවල් වල තැනැත්තන් මෙන්ම දකුණු ආසියානු රටවල්වන තැන්පත්කරුවන්ද මෙම වංචාවට හසු කරගෙන ඇති බවට නිරීක්ෂණය වී ඇති බව පොලිසිය පවසයි.
මෙම සංවිධානාත්මක සයිබර් වංචා කඳවුරු මියන්මාරය, තායිලන්තය ආශ්‍රිතව ක්‍රියාත්මක වන බව හෙළි වී තිබී ඇති අතර, 2024 අගෝස්තු මස සිට මේ දක්වා සිදු කරන ලද විමර්ශන වලදී ශ්‍රී ලංකාව තුල සිට ද ක්‍රියාත්මක වී ඇති බවට අනාවරණ වී ඇත. තවද සැකකරුවන් සන්තකයේ තිබූ ඉලෙක්ට්‍රොනික හා පරිඝනක උපාංග සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වෝහාරික විද්‍යාගාරය මඟින් පරීක්ෂා කර වාර්තා ලබා ගැනිමට නියමිතව ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජාත්‍යන්තර පොලිසිය හා යුරෝ පොල් මඟින් ද අවශ්‍ය සහය ලබා ගනිමින් වැඩි දුර විමර්ශන සිදු කරනු ලබයි.