ප්ලේන්ටියක් සඳහා රුපියල් 50ක් අය කිරීම සම්බන්ධයෙන් කරුණු විමසීමට ගිය රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරියෙකුට කොත්මලේ හෝටලයක සේවකයින් පිරිසක් පහරදීමෙන් තුවාල ලබා නුවරඑළිය රෝහලට ඇතුලත්කර ඇත.
මෙම පහරදීම සිදුව ඇත්තේ ඊයේ (13) රාත්‍රී කාලයේදී බවත් පහරකෑමට ලක්ව සිටින්නේ පොලිස් කොස්තාපල්වරයෙක් බවත් කොත්මලේ පොලීසිය සඳහන් කළේය.
නුවරඑළිය බෝමුරුඇල්ල පුහුණු ඒකකයේ පැවැත්වෙන පුහුණු පාඨමාලාවක් හැදෑරීම සඳහා මෙම නිලධාරියා කොළඹ සිට ගමන්කර ඇත්තේ මගී බස් රථයකිනි. බස් රථය කොත්මලේදී තේ පානය කිරීමට හෝටලයක් අසල නවතා ඇත. එහිදී මෙම නිලධාරියාද සෙසු මගීන් සමඟ හෝටලය තුළට ගොස් ප්ලේන්ටියක් ඉල්ලා තිබේ. එහිදී ඒ සඳහා රුපියල් 50ක මුදලක් ඉල්ලා ඇති බව සඳහන්ය. ප්ලේන්ටියක් සඳහා රුපියල් 50ක මුදලක් අය කිරීම අසාධාරණ බව පවසා තිබේ. එහිදී ඇතිවුණු බහින්බස් වීමක් දුරදිග ගොස් බුද්ධි නිලධාරියාට හෝටලයේ සේවකයින් පහරදී ඇති බව පොලීසිය කියයි.
මේ සම්බන්ධයෙන් මෙම බුද්ධි නිලධාරියා නුවරඑළිය පොලීසියට පැමිණීල්ලක් කර නුවරඑළිය රෝහලට ඇතුලත්කර තිබේ.
බුද්ධි නිලධාරියා තමන්ට පහරදුන් බව සඳහන් කරමින් අදාල හෝටලයේ සේවකයෙක්ද කොත්මලේ පොලීසියට පැමිණිලිකරමින් රෝහල්ගතව ඇතැයි පොලීසිය සඳහන් කළේය.