fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉන්දීය ගුවන්සේවාවලට බෝම්බ තර්ජන -කොළඹ ආ යානයකටත් හදිසි තත්වයක්

    ඉන්දීය ගුවන්සේවාවලට බෝම්බ තර්ජන -කොළඹ ආ යානයකටත් හදිසි තත්වයක්

    ඉන්දියාවේ සිට කොළඹ බලා පැමිණි විස්තාරා ගුවන් සේවයට අයත් යානයක් ද ඇතුළුව, ඉන්දීය ගුවන් සමාගම්වල ගුවන් ගමන් 20 කට අධික සංඛ්‍යාවකට අද(19) දින බෝම්බ තර්ජන එල්ල වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

    බෝම්බ තර්ජනයට ලක් වූ ගුවන් සමාගම් අතර එයාර් ඉන්ඩියා, ඉන්ඩිගෝ, ආකාසා එයාර්, විස්තාරා, ස්පයිස් ජෙට්, ස්ටාර් එයාර් සහ එලායන්ස් එයාර් ද වේ.

    කෙසේවෙතත් පසුගිය දින කිහිපය තුළ ඉන්දීය ගුවන් සමාගම් විසින් මෙහෙයවනු ලබන ගුවන් ගමන් 40 කට ආසන්න සංඛ්‍යාවකට බෝම්බ තර්ජන එල්ල වී ඇතැයි එම වාර්තා අනාවරණය කළේය.

    කෙසේවෙතත් මෙම නාඳුනන ඇමතුම් ඔස්සේ ලැබෙන බෝම්බ තර්ජන හේතුවෙන් බොහෝ ගුවන් ගමන් හරවා යවන ලද අතර සමහර ගුවන් සමාගම්වලට ඔවුන්ගේ සියලුම මගීන් නැවත පරීක්ෂා කිරීමට සිදුවූ අතර එමඟින් විශාල අපහසුතාවයක් සහ ප්‍රමාදයක් ඇති විය.

    ඇතැම් ගුවන් සේවාවලට මෙමගින් මුල්‍ය අලාබ ද සිදුවූ බවට වාර්තා වේ.

    මෙම සතිය මුලදී ඉන්දීය සිවිල් ගුවන් සේවා අමාත්‍ය කේ රාම්මෝහන් නයිදු කියාසිටියේ ගුවන් සමාගම්වලට එරෙහිව බෝම්බ තර්ජන එල්ල වන සියලුම සිද්ධීන් සහ මතුවී ඇති මෙම ප්‍රවණතාව එරට රජය සමීපව නිරීක්ෂණය කරන බවයි.

    අද දින ඉන්දියාවේ මුම්බායි සිට කොළඹ බලා පැමිණි විස්තාරා ගුවන් සේවයට අයත් UK-131 ගුවන් යානයේ කිසිදු බෝම්බ තර්ජනයක් නොමැති බවට කටුනායක ගුවන් තොටුපළ බලධාරීහු දැනුම් දෙයි.

    එම ගුවන් යානය අද පස්වරු 02.51ට කටුනායක ගුවන්තොටුපළට පැමිණීමට නියමිතව තිබුණි.

    ඊට විනාඩි 10කට පෙර අදාළ යානයේ ගුවන් නියමුවාට නාඳුනන ඇමතුමක් ඔස්සේ බෝම්බ තර්ජනයක් සම්බන්ධයෙන් අනතුරු අඟවා ඇත.

    ඒ අනුව නියමුවා විසින් පවතින ගුවන් සේවා පූර්ව ආරක්ෂක ප්‍රෝටකෝලයට අනුව කටයුතු කර ඇත.

    ඒ අනුව ඔහු විසින් අදාළ බලධාරීන් හදිසි දැනුම් දීම සිදුකිරීම මගින් වහා ක්‍රියාත්මක කරන ලද පූර්වාරක්ෂක ක්‍රියාපටිපාටියට අනුව හදිසි තත්ත්වයක් දැනුම් දී යානය ආරක්ෂිතව ගොඩබස්වා සියලු මගීන් ඉවත් කොට යානය පූර්ණ පරීක්ෂාවකට ලක්කර තිබේ.

    එහිදී තහවුරු කරගෙන ඇත්තේ කිසිදු බෝම්බ තර්ජනයක් නොමැති බවයි.

    මේ අනුව අදාළ ගුවන්සේවයත් කටුනායක ගුවන්තොටුපළ බලධාරීන් විසින් මගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමෙන් පසුව සාමාන්‍ය පරිදි සෙසු කටයුතු සඳහා යානය, කාර්ය මණ්ඩලය සහ මගීන් යොමුකර ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img