මාතර නාවිමනේ දී ත්‍රීරෝද රථයක් තුළදී පොලියට මුදල් ලබාදෙන පුද්ගලයකු වෙඩි තබා ඝාතනයකර ඇත්තේ රොටුඹ අමිලගේ කොන්ත්‍රාත්තුවකට අනුව බව හෙළිවී තිබේ.
ඒ අනුව වෙඩික්කරු වූ පොලිස් විශේෂ කාර්ය බලකායේ හිටපු කොස්තාපල්වරයෙක් කෑගල්ලේ සැගව සිටියදී කොටුකර ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය අද සමත් විය.
මෙම ඝාතනය වෙනුවෙන් මෙම කොස්තාපල්වරයාට ලැබී ඇත්තේ රුපියල් ලක්ෂයක මුදලකි.
මත්කුඩු ජාවාරමක් සම්බන්ධයෙන් වූ ආරවුලක් මෙම ඝාතනයට මුල්වී ඇති බව විමර්ශන වලින් පෙනී ගොස් තිබේ. 15 වෙනිදා සවස නාවිමනේදී මෙම පුද්ගලයා ට වෙඩි තබා මරා දමා ඇත්තේ ඔහුව නාවිමනට කැදවාය. එදින අලුයම් කාලයේදී ද ඔහුව සිය නිවසේදීම ඝාතනය කිරීමට වෙඩික්කරුවෙක් යොදවා තිබී ඇත. එම වෙඩික්කරු අලුයම් කාලයේදී නිවසට ගියත් දොරගුළු විවර නොකිරීම හේතුවෙන් ඉලක්කය වැරදී ගොස් තිබුණි. ඔහුටද රුපියල් ලක්ෂයක කොන්ත්‍රාත් මුදලක් ලැබී තිබී ඇත. පොලිස් විශේෂ බකාර්ය බලකායේ නිලධාරීන් විසින් ඔහුවද අත්අඩංගුවට ගෙන තිබේ.
වෙඩික්කරුවන් සදහා ගිණි අවිය හා ඝාතනය සඳහා ගමන් කිරීමට මෝටර් රථය සපයා ඇත්තේද රොටුඹ අමිල විසින් බවට තොරතුරු ලැබී ඇතැයි විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.
වෙඩික්කරුවන් විසින් මෙම ඝාතනය සිදු කිරීමෙන් පසුව එම මොටර් රථය පන්නිපිටිය මහල්වරාව ප්‍රදේශයේ අතහැර දමා ගොස් තිබියදී සොයාගෙන තිබුණි.
අනතුරුව ඔවුන් වෙනත් රථයකින් කෑගල්ල ප්‍රදේශයට ගොස් සැගව සිට ඇත.
මොවුන් එම ඝාතනය කර කෑගල්ල හෙට්ටිමුල්ල ප්‍රදේශයේ නිවසක සැගව සිටින බවට ලද තොරතුරු මත පොලිස් විශේෂ කාර්ය බලකායේ සේනාවිධායක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍යනාශක සාගර කුලසේකර මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ 11 හි උප ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පී.ඩබ්ලිව්.ඒ.ජේ.පී.කේ. වන්නිආරච්චි ඇතුළු නිළධාරින් කණ්ඩායමක් විසින් වහා කියාත්මක වී මහත් වු පරිශ්‍රමයක් දරා මෙම වෙඩික්කරුවන් දෙදෙනා සහ වෙඩික්කරුවන්ට නවාතැන් දුන් පුද්ගලයාද අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකා මාධ්‍ය අංශය සඳහන් කරයි.
මෙම ඝාතනයට ඔත්තු බැලූ පුද්ගලයා සහ වෙඩික්කරුවන් ගමන් කළ මෝටර් රථය මෙයට පෙර පොලිස් විශේෂ කාර්ය බලකායේ දකුණු පළාත් සංවිධානාත්මක අපරාධ මැඩලීමේ ඒකකයේ පොලිස් පරීක්ෂක එච්.ජී.එස්.සී. නිශ්ශංක ඇතුලු නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත්තේය.
මෙම සැකකරුවන් සියළු දෙනාම වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා මාතර මූලස්ථාන පොලිස් ස්ථානය වෙත භාරදී තිබේ.