පකිස්තානයේ සිට මුහුදු මාර්ග ඔස්සේ ට්‍රෝලර් යාත්‍රාවක සඟවාගෙන හෙරෙයින් කිලෝ 111යි ග්‍රෑම් 82ක් මෙරටට රැගෙන එමින් තිබියදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය හා නාවික හමුදාව දකුණු මුහුදු තීරයේදීත් බස්නාහිර වෙරළ ආශ්‍රිතවත් කළ වැටලීම් මාලාවකදී අත්අඩංගුවටගත් සැකකරුවන් 17 දෙනෙකු අතරින් ඉරාන් ජාතිකයන් 10 දෙනෙකුට මීගමුව මහාධිකරණය විසින් ජීවිතාන්තය දක්වා අද සිරදඩුවම් නියම කළේය.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව 2016 වසරේ අප්‍රේල් 01 වෙනිදා එවකට එම කාර්යාංශයේ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාව සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් නාවික හමුදාවේද සහය ඇතිව මහ මුහුදේ කළ මෙහෙයුමකදී ඉරාන ජාතිකයන් 10 දෙනා සහ පකිස්තානුවෙක් මුලින්ම අත්අඩංගුවට ගෙන තිබුණි.
ධීවරයන් ලෙස වෙස්වලාගෙන මහ මුහුදට ගොස් රැකවල් ලා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ විසින් කළ විශාලතම මත්ද්‍රව්‍ය වැටලීම වන්නේ මෙය බව සඳහන්ය. එකල මහ මුහුදේදී අත්අඩංගුවටගත් වැඩිම හොරොයින් තොගය ලෙස ඉතිහාස ගතවූයේද මෙම වැටලීමය.
දින ගණනාවක් මහ මුහුදේ රැදෙමින් මත්කුඩු සමඟ අත්අඩංගුවට ගැනීමත් සමඟ හෙළිවූ තොරතුරු මත මෙම මත්කුඩු තොගය භාරගැනීමට සූදානමින් සිටි සහ ගොඩබිමේ සිට මෙම මත්කුඩු රැගෙන ආ යාත්‍රාව සමඟ සන්නිවේදනය කළ පුද්ගලයන් හදුනාගනිමින් ගොඩබිමේ සිටි නිලධාරීන් කණ්ඩායමක් වැටලීමක් කර තිබුණි. එහිදී පකිස්තානුවෙක්, සිංගප්පූරු ජාතිකයෙක් සහ ඉන්දියානුවෙක් සමඟ ශ්‍රී ලංකිකයන් තිදෙනෙක් මීගමුව පමුණුගමදී අත්අඩංගුවට ගත්තේය.
මෙම ජාවාරම්කරුවන් 17 දෙනා සම්බන්ධයෙන් වූ නඩු වීභාගය ආරම්භ වන්නේ මීගමුව මහාධිකරණයේදීය. අධිචෝදනා 19ක් ගොනුකර තිබුණු අතර මෙම නඩුවේදී සාක්ෂිකරුවෙක් ලෙස ඔත්තුකරුවෙකු ඉදිරිපත්වීම විශේෂිතය. මෙරට ඉතිහාසයේ මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් වූ ඔත්තුකරුවෙක් අධිකරණය හමුවේ සාක්ෂි ලබාදුන් පළමු අවස්ථාව ලෙස සැළකෙන්නේ මෙයයි.
මෙම නඩුව අද මීගමුව මහාධිකරණය හමුවේ කැදවූ අවස්ථාවේදී පකිස්තානයේ සිට මත්කුඩු රැගෙන එමින් සිටියදී මහ මුහුදේදී අත්අඩංගුවටගත් ඉරාන් ජාතිකයන් 10 දෙනාම වරද පිළිගත්තේය. එබැවින් ඔවුන්ට එරෙහිය ජීවිතාන්තය දක්වා වූ සිරදඩුවමක් අධිකරණය විසින් නියම කරනු ලැබීය.