පාතාලයේ ගිනිඅවි විවිධ අපරාධ සඳහා ප්‍රවාහනය කිරීමට සම්බන්ධ පොලිස් විශේෂ කාර්ය බලකායෙන් වැඩ තහනමට ලක්ව සිටින පොලිස් පරීක්ෂකවරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ටී 56 අවියක් පාතාලයට ලබාදීමට රැගෙන යමින් සිටියදී අද (01) අලුයම අලුත්ගමදී අත්අඩංගුවට ගෙන ඇත.
මෙම පොලිස් පරීක්ෂකවරයා ඇල්ටෝ වර්ගයේ සිය මෝටර් රථයේ පිටුපස ආසනය කපා සකස්කළ රහස් ස්ථානයක ටී 56 අවිය පතොරම් සමඟ සඟවා තිබුණු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙම පොලිස් පරීක්ෂකවරයා පදිංචිව සිටින්නේද අලුත්ගම ප්රදේශයේය.
බූස්ස බන්ධනාගාරයේ රදවා සිටින මාකිලංගමුවේ සංජීව සමඟ ඉතා කිට්ටු ඇසුරක් තිබී ඇතැයි පැවසෙන පොලිස් පරීක්ෂකවරයා ගිනි අවියක් පාතාල අපරාධකරුවෙකුට ලබාදීමට අවිස්සාවේල්ලට රැගෙන යාමට සූදානම් වන බවට කල්තියා ලද තොරතුරකට අනුව අලුත්ගමදී මෝටර් රථය නතරකර කළ පරීක්ෂාවේදී ගිනි අවිය හමුවූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මාකිලංගමුවේ සංජීව නැමැත්තාගේ ගෝලයෙක් වන වසන්ත නැමැත්තාට ලබාදීමට මෙම අවිය රැගෙන යමින් සිට ඇති බවත් යම් අපරාධයක සූදානමක් ඇති බව විමර්ශනයේදී පෙනී යන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙම පොලිස් පරීක්ෂකවරයාගේ වැඩ තහනමට ලක්ව වැඩි කාලයක් නැති බව පොලිස් තොරතුරු සඳහන් කළේය. වැඩ තහනමට ලක් වූ කාලය තුළ ඔහුගේ බැංකු ගිණුමට මුදල් ලක්ෂ තිහක පමණ ප්‍රමාණයක් බැරවී තිබී ඇතැයි විමර්ශනවලින් හෙළි වී තිබේ. මෙම මුදල් පාතාල ක්‍රියාකාරකම් වලින් ඔහුගේ ගිණුමට බැර වී තිබේදැයි සොයා විමර්ශන පැවැත්වෙන බව පොලිසිය කියයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලකී රන්දෙණිය මහතාගේ උපදෙස් මත මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පැවැත්වේ.