ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති දේශපාලන රැස්වීම් භූමියකට පතුරොමක් රැගෙන ඇතුළුවීමට උත්සහ දැරූ සමාජ සේවා නිලධාරියෙක් හා ඔහු සමග සිටි යුද හමුදා සෙබලෙකු ජනපති ආරක්ෂක අංශයේ නිලධාරීන් විසින් පසුගිය 08 දා අත්අඩංගුවට ගෙන කුරුණෑගල පොලිසියට බාර දෙනු ලැබීය.
පාර්ලිමේන්තු මැතිවරණයට සමගාමීව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන රැස්වීමක් පසුගිය අටවෙනිදා කුරුණෑගල සත්‍යවාදී පිටියේදී පැවැත්විණි.
මෙම රැස්වීම සඳහා සහභාගී වීමට පැමිණි දේශපාලන ආධාරකරුවන් ඇතුළු පුද්ගලයින් රැස්වීම් භූමියට ඇතුළු වන විට ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරීන් මෙන්ම කුරුණෑගල පොලිසියේ නිලධාරීන් පරීක්ෂා කිරීමක් සිදුකර ඇත.
එම පරීක්ෂාවේදී දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා නිලධාරියෙක් දෙස සේවය කරන අයෙකුගේ අත්බෑගයේ තිබී බෝර 12 වර්ගයේ ගිනි අවි වලට යොදන මූනිස්සම් නමයකින් යුත් එස්.ජි. වර්ගයේ උණ්ඩයක් හමුවී තිබේ. ඒ සම්බන්ධ සැකපිට සමාජ සේවා නිලධාරියා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. මෙම රැස්වීම් භූමියට ඇතුල්වීමට ඔහු සමග පැමිණ සිටි ගන්නෝරුව හමුදා කඳුරේ සේවයේ නිරත සෙබළෙක්ද එහිදී අත්අඩංගුවට ගෙන තිබේ. වලංගු නිවාඩු බලපත්‍රයක් ඔහු සතුව නොමැති වූ බැවින් සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ සොයාගත් පතුරම වැලිසර පිහිටි වාණිජ පුපුරන ද්‍රව්‍ය ගබඩාවෙන් මිලදීගෙන ඇති බවය. බලපත්‍ර සහිත ගිනි අවියක් ද ඇතිසමාජ සේවා නිලධාරියා මෙම රැස්වීමට සහභාගි වීමට පැමිණෙන විට අත්වැරදීමකින් එම පතුරම රැගෙන විත් ඇති බවද විමර්ශනයේදී අනාවරණය වී ඇත. ඒ අනුව ඔහුවත් හමුදා සාමාජිකයාත් විමර්ශනවලින් අනතුරුව මුදා හැරිය බව උසස් පොලිසි නිලධාරියෙක් සඳහන් කළේය.