සමාජ මාධ්‍ය ජාල මෘදුකාංගයක් හරහා සම්බන්ධ වූ පුද්ගලයකු මගින් සම්බාහනයක් කරගැනීමට බම්බලපිටියේ පිහිටි තට්ටු නිවාස සංකීර්ණයක නිවසකට පැමිණි හම්බන්තොට රෝහලේ වෛද්‍යවරයකු නිරුවත් කර වීඩියෝ ගත කර එම වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය වෙත මුදා හරින බවට තර්ජනය කරමින් රුපියල් ලක්ෂ දහයක මුදලක් මාර්ගගත ක්‍රමයට බැංකු ගිණුමකට බැර කරවා ගනිමින් සිදුකළ මුදල් කොල්ලකෑමට සැකපිට මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් ව සිටින අපේක්ෂිකාවක් , ඇගේ සැමියා සහ තරුණයන් සිව් දෙනෙක් බම්බලපිටිය පොලීසිය අද (11) අත්අඩංගුවට ගත්තේය.
අපේක්ෂිකාව කොළඹ දිස්ත්‍රික්කයෙන් දේශපාලන පක්ෂයකින් ඉදිරිපත් වී සිටින්නියක් බවත් කොල්ලකෑ මුදල් වලින් රුපියල් ලක්ෂ 09කට වැඩි ප්‍රමාණයක් ඇගේ බැංකු ගිණුමකට බැරවී ඇති බවත් පොලීසිය සඳහන් කරයි.
වෛද්‍යවරයා පොලිසියට පවසා ඇත්තේ මෘදුකාංගය හරහා දැන හඳුනාගත් පුද්ගලයා තමාට යොමු කළ ලොකේෂන් ඔස්සේ පසුගිය 08 දා සවස බම්බලපිටියේ මහල් නිවාස සංකීර්ණයකට ගිය බවය. එහිදී සිව් දෙනෙක් එක්ව තමාට පහරදී නිරුවත්කර වීඩියෝගතකර එම වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධකරන බවට තර්ජනය කරමින් රුපියල් ලක්ෂ 10ක මුදල ලබාගත් බවද වෛද්‍යවරයා පොලීසියට පවසා තිබුණි.
මෙම පැමිණිල්ලට අදාලව කළ විමර්ශනයේදි බැංකු ගිණුම් තොරතුරු හා ආරක්ෂක කැමරා දර්ශන මගින් සැකකරුවන් හදුනාගෙන ඔවුන්ව අත්අඩංගුවටගත් බව පොලීසිය කියයි.