ඡන්ද පොලකට පහරදීමට ගිනි අවි සමඟ ලොරියක් සූදානම්කරගෙන ඇති බවට 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට දුරකථන ඇමතුමක් ලබාදුන් පුද්ගලයකු සොයා සූරියවැව පොලීසිය විමර්ශනයක් ආරම්භකර ඇත.
එම දුරකථන ඇමතුමට අනුව අදාල ලොරිය සූරියවැව දෙයියන්දරයාය ප්රදේශයේ නිවසක් ඉදිරිපිට නවතා තිබියදී ඊයේ (13) සූරියවැව පොලීසිය සොයාගෙන තිබේ.
ඇලුමිණියම් බොඩියක් සහිත එම ලොරියේ ඩිෆරන්සලය උඩ කොටසේ ඉටි බෑගයක සඟවා තිබී ටී 56 පතොරම් දැමිය හැකි ටී කටස් ගිනි අවියක්, අත්බෝම්බයක්, ටී 56 පතොරමක්, උල් පිහි 02ක් හා කඩුවක් සොයාගත් බව පොලීසිය කියයි.
මෙම ලොරිය ඒ අසල නිවසේ පදිංචි කාන්තාවකගේ නමින් ලියාපදිංචිකර ඇති එකක් බව පොලීසිය සඳහන් කරයි.
විමර්ශනයේදී හෙළිවී ඇත්තේ ලොරි රථයේ හිමිකරු අමාරුවේ දැමීමට මෙම ආයුධ ලොරි රථයේ සඟවා තබා යම් පුද්ගලයකු දුරකථන ඇමතුමක් දී ඇති බවය.