වීරඹුගෙදර පොලිස් ස්ථානයෙන් අස්ථානගතව තිබුණු රිවෝල්වරය පොලිස් ස්ථානයේ ප්‍රධාන දොරටුව අසල කිසියම් අයෙක් විසින් දමාගොස් තිබියදී ඊයේ (13) හමුවී ඇත.
මැතිවරණ විශේෂ රාජකාරි සඳහා වීරඹුගෙදර පොලිස් ස්ථානයට පැමිණි වනාතවිල්ලුව සිවිල් ආරක්ෂක බලකා කඳවුරේ නිලධාරියෙකු පොලිස් ස්ථානයේ ප්‍රධාන දොරටුවේ රාජකාරි සඳහා යොදවා සිටියදී මෙම අවිය ඔහුට හමුවී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.
මෙම ගිනි අවිය වීරඹුගෙදර පොලිස් ස්ථානයේ අවි බහාලන පෙට්ටගමින් අස්ථානගතව ඇති බව අනාවරණය වී තිබුණේ පසුගිය ඔක්තෝබර් 24 වෙනිදාය. මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් විමර්ශනයක් පවත්වා පොලීසියේ සැරයන්වරු දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබුණි. ඒ එම ගිනි අවිය රාජකාරි සඳහා අවසානයට රැගෙන ගොස් තිබුණේත් එය භාරගත් බවට පොලිස්පොත්වල සටහන්කර ඇත්තේත් එම සැරයන්වරු දෙදෙනා වූ බැවිනි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විමර්ශන වලින් පෙනී ගොස් තිබුණේ ගිනි අවිය අස්ථානගතව ඇත්තේ අවි බහාලන පෙට්ටියේ තිබියදී නොවන බවය. රාජකාරි සඳහා ලබාගත් ගිනි අවිය අස්ථානගතව ඇති බව විමර්ශනයේදී අනාවරණය වී තිබුණි.
ගිනි අවිය අස්ථානගත කළ පුද්ගලයාම එය හොර රහසේ පොලිස් ස්ථානයේ ගේට්ටුව අසලට ගෙනවිත් දමා ඇතැයි පොලීසිය සැකකරයි.