පුද්ගලයෙක් පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබාගෙන අතුරුදන් කිරීමක් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාලව නාවික හමුදා මූලස්ථානයේ සේවයේ නිරත නාවික හමුදා කපිතාන්වරයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඊයේ (18 ) අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇති නාවික හමුදා කපිතාන්වරයා ගිරිඋල්ල මාහරගම පදිංචිකරුවෙක් වන 48බ හැවිරිදි වියේ පසුවන්නෙකි.
මෙම අපරාධය සිදුව ඇත්තේ 2010 වසරේ ජූලි 26වෙනිදා හෝ ඒ ආසන්න දිනයකදී බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශය සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් අලව්ව පොලීසියේ එවකට අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාව සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා පසුගිය වසරේ දෙසැම්බර් 11 වෙනිදා මීරිගම පොලිස් ස්ථානයේ සේවයේ නිරතව සිටියදී අත්අඩංගුවට ගත්තේය.
පසුගිය ජූනි 04 වෙනිදාද මේ සම්බන්ධයෙන් මෙම අපරාධය සිදුවන වකවානුවේ අලව්ව පොලීසියේ සේවයේ නිරතව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගත්තේය. එම නිලධාරීන් දෙදෙනා සැරයන්වරු දෙදෙනෙකි. මෙම නිලධාරීන් තිදෙනාම මේ වන විට සිටින්නේ ඇප මතය.
කටුපොත වජිරවත්තේ පදිංචිව සිටි ගනේරාලලාගේ ශාන්ත සමරවීර නැමැති පුද්ගලයෙකුව නීත්‍යානුකූල නොවන ලෙස අත්අඩංගුවට ගෙන අයුතු ලෙස සිරකර තබාගෙන අතුරුදන් කිරීමක් සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් තිදෙනාට හා නාවික හමුදා කපිතාන්වරයා සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස්මූලස්ථානයට ලද පැමිණිල්ලකට අනුව විමර්ශන පවත්වා මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත. අතුරුදන්වූ පුද්ගලයාට වූයේ කුමක්දැයි මෙතෙක් හෙළිවී නැත.
සැකකාර පොලිස් නිලධාරීන අත්අඩංගුවට ගනු ලබන්නේ ද එම සිදුවීමෙන් වසර 13කට පසුවය.