ගවයින් සොරාගෙන කැළෑබද ප්‍රදේශවලදී මස් කර ශීතකරන ලොරි රථවල පටවා අධිවේගී මාර්ගය ඔස්සේ කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවලට රැගෙන ගොස් බෙදා හැරීමේ ජාවාරමක් අගුණුකොළපැලැස්ස පොලීසිය විසින් හෙළිකරගෙන ඇත.
මෙම ඡාවාරමට සම්බන්ධයෙන් සැකපිට 09 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අතර ජාතික පාපන්දු කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙක්ද සිටින බව පොලීසිය කියයි. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රටවල් කිිහිපයකම තරග සංචාරයන්වල නිරතව ඇති මෙම ක්‍රීඩකයා ගව සොරකම වෘත්තියක් බවට පත්කරගෙන සිටින බව පොලිස් විමර්ශන වලින් අනාවරණය වී තිබේ.
අගුණුකොළපැලැස්ස පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් අගුණුකොළපැලැස්ස අධිවේගී මුරපොලේ නිලධාරීන් සමඟ සිදුකල ඒකාබද්ධ වැටලීමකදී අධිශීතකරණ ලොරි රථයක් සහ එම රථයේ පරිවාර රථයක් ලෙස ගමන් කළ කැබ් රථයක් ඊයේ උදෑසන කාලයේදී පරීක්ෂාවට ලක්කර ඇත. අධිශීතකරන ලොරි රථයේ තිබී ගවමස් කිලෝ 1950ක් හමුවී තිබේ. ඒ අනුව එම ලොරි රථයේත් කැබ් රථයේත් ගමන්කරමින් සිටි තිදෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. පාපන්දු ක්‍රීඩකයා සිට ඇත්තේ ඒ අතරය. එම සැකකරුවන් තිදෙනාම ග්‍රෑන්ඩ්පාස් හී පදිංචිකරුවන්ය.
අත්අඩංගුවටගත් සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරිමේදී වීරකැටිය දොබොක්කාවේ පිහිටි ගවයින් ඝාතනය කළ ස්ථානය අනාවරණය කර ගැනීමට පොලීසිය සමත්ව ඇත. ඒ අනුව පොලීසිය එම ස්ථානයට ගොස් තිබේ. ඒ අසල කැළෑබද ස්ථානයක සඟවා තිබූ අධිශීතකරණ ලොරියක් සොයාගෙන ඇත. එම ලොරිය පරීක්ෂා කිරීමේදී ඒ තුළ තිබී මරා දමන ලද ගවයින් 12 දෙනෙකුගේ කොටස් සොයාගෙන තිබේ. එහිදී තවත් සැකකරුවන් 06 දෙදෙනක් අත්අඩංගුවට ගනිමින් ඝාතනය කිරීමට සූදානම්කර තිබුණු ගවයින් 16 දෙනෙක්ද සොයාගෙන ඇත.
ගවයින් ඝාතනය කිරීමට සූදානම්කර තිබුණු පිහි ඇතුළු උපකරණද පොලීසිය විසින් සොයාගෙන තිබේ.