fbpx
තවත්
    මුල් පිටුවspecialමේ රට ගොඩදැමීමට නම්...

    මේ රට ගොඩදැමීමට නම්…

    සත්‍යගවේෂී ගේ දර්ශනවාදී ව්‍යාපාරික මිතුරෙක්  පසුගියදා කල සංවාදයක් පූර්විකාව කරගෙන අද මෙසේ ලියන වගනම්~

     

    “සත්‍යා…මේ රට ගොඩදාන්න අමාරු නෑ… වුවමනාව නැතිකමයි, කුහක කමයි නැති කරගත්තොත් මේ රට ගොඩදාන එක කජ්ජක්…”

    “මේ ණය කන්දරාව එක්ක කොහොම මේ රට ගොඩදාන්නද?… ” එතන හිටපු තවත් කෙනෙක් කීය.

    “යුද්දේ ඉවර කරපු හැටි මතක් කර ගත්තම ඕක කරන්නේ කොහොමද කියලා පැහැදිලි වෙයි” මිතුරා කීය.

    තිස් අවුරුදු යුද්ධය ඉවර කිරීම.

    හිඟන්නාගේ තුවාලය වගේ දෙපාර්ශවය පාරවමින්  මාකට් කල යුද්ධය අවසන් කිරීමේ ප්‍රයත්නයේදී රටක් ලෙස අපි එකතු වූයෙමු. කුහක දේශපාලනය සහ එන්ජීඕ ඩොලර් කාක්කන් කෙසේ අකුල් හෙළුවද, අවසානයේදි යුද්ධය නිමා කිරීමට රටක් වශයෙන් අපි සමත් වූයෙමු.

    කොහොමද එහෙම කලේ?

    කල නොහැක්කක් ලෙස වසර තිහකට අධික කාලයක් ජන විඥානය තුල පාලකයින් පැලපදියම් කල “යුද්ධයේ නිමාව” ජනතාව තුලින්ම මතුකරගත් “අපි වෙනුවෙන් අපි” වැඩසටහන මතකයට නගා ගනිමු. එහි ආරම්භය කෙසේ වූයේද යන්න සත්‍යගවේෂී හට නිච්චියක් නැත. එහෙත් යුධ සෙබලා ” රණවිරුවෙකු” කිරීමෙන් නොනැවතී “අපෙන් එකෙකි මේ මිනිසා” ලෙස ජනගත කල හැටි අති ප්‍රසංසනීයය. දෙමාපියන් තම දරුවන් හමුදාව වෙත භාර දුන්නේ “දැයට පූජා කිරීමක්” ලෙසය. සාම්ප්‍රදායිකව සසුනට දරුවෙක් පූජාකිරීමේ භක්තියෙන්ම ඔවුන් මෙම කාර්යයෙහි ඒකාත්මික වූහ. සමහරු “අටපාස් කුලී හේවායෝ” යැයි අවඥා මුඛයෙන් කීවද, රණවිරුවා ගෞරවනීය චරිතයක් කලේ මෙම ව්‍යාපෘතියෙනි.

    එය මොනතරම් අගනා අලෙවිකරණයක් ද. සමාජය තුලින්ම ඒකාත්මික හඬක් නැගෙන විට, දේශපාලනඥයින් හට කර ඇරීමට නොහැකි විය. මේ නිසා පක්ෂ-විපක්ෂ භේදයෙන් තොරව සැමදෙනාම මේ කාර්යය වෙත නැඹුරු වීමට සිදුවිය.

    එහෙත්, යුද්ධයක් අවසන් කිරීමේ ආර්ථික  ප්‍රතිලාභය රටක් වශයෙන් නෙලා ගැනීමට අපොහොසත් වූයෙමු. සංවර්ධන කාර්යයන් ඇරඹීම  මනා ලෙස සිදුකලද, මෙතෙක් අපහසුවෙන් නිහඬව සිටි කුහක දේශපාලන සංවිධාන සහ එන්ජීඕ ඩොලර් කපුටන් ඔවුන්ගේ අශුද්ධ න්‍යායපත්‍ර දිගහැර ගත් හ. එසේම වගකිව යුතූ  දේශපාලනඥයින් කොමිස් කුට්ටි උදෙසා විදෙස් ණය ලබාගනිමින් යම් පමණින් හෝ සංවර්ධන කටයුතු ආරම්භ කළහ.

    එහෙත් , මේ දෙපාර්ශවය නිසා අපේක්ෂිත දියුණුවක් රට වෙත ලඟා කරගත නොහැකි විය. ණයට ගෙන එදා වේල කන, ගත් ණයෙන් පෙර ණය පොලී ගෙවන දුගියෙක් බවට මේ රට පත්විය. එහෙත් පාලකයින් තම සුඛවිහරණය සඳහා ජනතා මුදල් මෙන්ම ලබා ගන්නා විදෙස් ණය ලෝස් නැතිව වැය කළහ. තවමත් එසේ කරති. ඔවුන් සැවොම එක්ව, අනාගත පරපුර ණය සයුරක ගිල්වා දමති.

    වසර හැත්තෑවක් තුල විවිධ පාලකයින් කල බොහෝ සංවර්ධන ක්‍රියාමාර්ග, ජාතික ප්‍රතිපත්ති වලින් තොරව සිදු කිරීමත්, එක් පාලක කණ්ඩායමක් පලවා හැර ජනමතයෙන් තේරී පත්වන අනෙක් කණ්ඩායම එතෙක් පැවති සංවර්ධන ක්‍රියාමාර්ග නවතාලීමත්, ඒවා උඩුයටිකුරු කිරීම ත් මෑත ඉතිහාසය තුල මනා සේ ගම්‍ය විය. මෙනිසා ප්‍රමාද ගාස්තු සහ  දඩ ලෙස විශාල මුදලක් විදෙස් රාජ්‍ය සහ ආයතන වෙත ගෙවීමට අපහට සිදු විය.

    “මීකිරි හා ඇඹුල්තියල් ගෙන යෑමට සාදනවා” යැයි අවලාද නැගූ දක්ෂිණ අධිවේගී මාර්ගයේ  අද සුවහසක් දෙනා පහසුවෙන් ගමන් යනවා නොවෙද? තඩිගලක් තියෙනවා යැයි කී හම්බන්තොට වරාය හොඳින් ක්‍රියාත්මක වනවා නොවෙද? මේ කුහකයින් මත්තල ගුවන්තොටුපළ වී ගබඩාවක් කලා නොවෙද? එලෙසට ම, තවම සුදු අලියෙක් ලෙස පෙනී යන “නෙළුම් කුළුණ” රටට වැඩදායක ලෙස භාවිතා කළයුතුය. මෙය පිළිබඳව  වගකිව යුත්තන්ගේ  ඇස් දැන්වත් ඇරේවා!

    මිස්ටර් ක්ලීන්ලාගේ කුප්‍රකට මහබැංකු රොබරි සත්‍යගවේෂී හට සිහිපත් වේ. එමෙන්ම මෑතකදී සිදුවූ සීනි, සුදු ලූණු වංචාකරුවන් ගැන ද සත්‍යගවේෂී හට සිහිපත් වේ. පාස්කු ප්‍රහාරය සහ එහි වින්දිතයින් ඔබට මතකද?

    වැරදිකරුවන් හට නීතියෙන් දඬුවම් දීම අනිවාර්යයෙන්ම විය යුත්තකි. මේවා මැතිවරණයක් ආසන්නයේ ඇදෙන, ඉන්පසු මැකෙන මාධ්‍ය සන්දර්ශන මාතෘකා පමණක් නොවිය යුතුය.

    එහෙත් ඒවා ලියමින් මේ ලිපිය දිග්ගැස්සීමට සත්‍යගවේෂී අපේක්ෂා නොකරයි. සබුද්ධික ඔබ “තම තම නැණපමණින්” ඒවා සිහිකර ගනිත්වා.

    කොවිඩ් සහ ස’ ෆේල් මානසිකත්වය

    කොවිඩ් 19 ව්‍යසනය නිසා ලංකාවේ ආර්ථිකයම විනාශ මුඛයට ඇද වැටී ඇත. ලංකාවේ සංචාරක කර්මාන්තය , ඇඟළුම් කර්මාන්තය, ඇතුළු සමස්ත ආර්ථිකයම හානියට පත්වී ඇත. උද්ධමනය ඉහවහා ගොස් ඇත. එන්නත්කරණය, සෞඛ්‍ය ඇතුළු අත්‍යවශ්‍ය කටයුතු සඳහා රජයට ඉමහත් මුදලක් විදේශ විනිමය ලෙස වැය කිරීමට සිදුවී ඇත. රාජ්‍ය සේවකයා සහ මාස්පඩි කරුවා කෙසේ හෝ දිවි ගැට ගහගත්තද, ස්ථිර රැකියා නැති එදා වේල සොයාගන්නා අසරණයින්හට කිනම් සරණක්ද?

    පාලකයා බිත්තියට හිරකොට තම ඉල්ලීම් ලබාගැනීම, වෘත්තීය සටන්වල සාමාන්‍ය ක්‍රමවේදය යි. එහෙත්, රටේ ආර්ථිකයම අගාධයකට ගොස් ඇති මෙවන් මොහොතක, අසරණයින් බිල්ලට තබා ගෙන, තම වෘත්තීය ඉල්ලීම් උදෙසා නිර්ලජ්ජිතව සටන් කිරීම අමානුෂික ය.

    සමාජවාදී නාමධාරී කුහක අතකොළු වල මෙහෙයවීමෙන් දෙවිවරු වන් ගුරුවරුන් අද අසරණ දරු දැරියන් බිල්ලට තබාගෙන වෘත්තිය සටනක නියැලී ඇත. මේ වෘත්තීය සටන් මොළකරුවන්ගේ දරුවන් පෞද්ගලික පාසල් සහ පෞද්ගලික විශ්ව විද්‍යාල වල අධ්‍යාපනය ලබද්දී, ඔවුන්ගේ  වර්ජනයෙන් අසරණ වන්නේ අඩු වරප්‍රසාදලාභී දෙමාපියන් ගේ අසරණ දරුවන් ය. රජයට මෙන්ම ගුරුවරුන් හට රටේ අනාගත පරපුර වෙනුවෙන් වගකීමක් ඇති බව සැලකිය යුතුය.

    එහෙත්  ෂයිලොක් ලා අතර සිටින ගුරු දෙවිවරු කිහිප දෙනෙක්, තම ධනය ශ්‍රමය වැය කරමින් නොමිලයේ මාර්ගගතව අසරණ ලමයින්ගේ ඇස් පෑදීමට කටයුතු කිරීම අතිවිශිෂ්ටය. තර්ජන ගර්ජන මධ්‍යයේ රට දැය සහ අනාගත පරපුර වෙනුවෙන් නැගී සිටි ඒ උතුමන් වෙත සත්‍යගවේෂීගේ උත්තමාචාරය!

    ස’ ෆේල් ද?

    මතුපිටෙන් බැලීමේදී ස’ ෆේල් යැයි පවසන්නෝද, පාස් දේත් ෆේල් කරන කුහකයින්ද අප අතර වෙති. බුද්ධිහීන දේශපාලන වහල්ලුන් ස’ මෙන්ම රටම ෆේල් වනතුරු කට ඇරගෙන සිටිති. ඒ තමන්ගේ ස්වාමී පක්ෂය බලයට එනතුරු ය. මේ අතර ස’ට නොව සක්කරයාගේ පුතා වයිමා හිටියත් මේ වෙලාවේ ෆේල් යැයි සිතන බයි වහලුන්ද, පුතාණන්ට හෝ ක්ලීන්තුමාට හැකිය  යැයි සිතන ටොයි වහලුන්ද, සුරංගනා කතාවලට හැමදාම රැවටෙන ජෙපි වහලුන් ඇතුළු එකී මෙකී නොකී හැම කෙනාම තමන් අදහන “වහල් දහමක” සිරවී ඇත. ඉන් මිදීමට සිතන්නේ වත් නැත.

    රට ගොඩදැමීමට නම්…

    සත්‍යගවේෂී ඒ ගැන සිතන්නේ මෙසේය~

    1. තම දේශපාලන වහල් බවෙන් මිදී නිරවුල් මනසෙන් යුතුව මහන්සි වී රටේ දියුණුව වෙනුවෙන් සැවොම කටයුතු කළ යුතුය.
    2. අපි තමයි හොඳටම කරන්නේ යැයි සිතන අධිතක්සේරුවෙන් මිදිය යුතුය. එසේම උන්ට වඩා “අපේ ජොකියට” පුලුවන් කියන මිත්‍යාවෙන් මිදිය යුතුය.
    3. දෙවන ලෝක යුද්ධයෙන් පසු අළු ගසා නැගී සිටි ජපානය මෙන් එකාවන්ව නැගී සිටිය යුතුය.
    4. රටට වින කරන කුහක දේශපාලනය මෙන්ම අත්තනෝමතික නිලධාරීවාදය තුරන් කළයුතුය.
    5. මේ රට තුල  සරළ එක නීතියක් ක්‍රියාත්මක කළ යුතුය.
    6. රටේ දියුණුවට වල කපන කුහක වෘත්තීය සමිති තුරන් කල යුතුය.
    7. සැවොම මහන්සිවී ඉපැයිය යුතු අතර අනවශ්‍ය පින්පඩි සහ සහනාධාර නවතාලිය යුතුය. මෙම ප්‍රතිපත්ති  සුබසාධන වාදී  දේශපාලන ක්‍රමය විසින් කාලයක් තුල පෝෂණය කිරීම හේතුවෙන් රටවැසියා අලස සහ යාචක මානසිකත්වයකට තල්ලු කර ඇති බව සබුද්ධික ඕනෑම අයෙකුට වැටහී යන කාර්යයකි. රජයෙන් සියල්ල සිදුවිය යුතුය යන්න මේ හිඟන මානසිකත්වයෙහි ප්‍රතිඵලය යි.

    තිස්වසරක බිහිසුණු යුද්ධයක් පරාජය කල අපට හැත්තෑ වසරක ආර්ථික යුද්ධය පරාජය කිරීම අසීරු නොවනු ඇත. ඒ සඳහා නැවත සිතීමත් “අපි වෙනුවෙන් අපි” වැනි ප්‍රචාරණ වැඩපිළිවෙළක් සමග උපායමාර්ගිකව කටයුතු කිරීමේ වටිනාකම අප සැම වටහාගත යුතුය.

    හරියට හිතුවොත්,
    “කල නොහැක්කක් නොමැත”

    එඤ්ඤං
    මම
    සත්‍යගවේෂී

    සත්‍යගවේෂී

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    1 Comment

    1. මෙම News සේවාව සුවිශේෂී සේවාවකි.හැමදාම හැමෝටම කලින් මා පුවත් දුටුවේ…මෙහි ඇති වැදගත් කම නිසාවෙනි….අනේ කරුණාකර දේශපාලන හෝ ඔබ දේශ හිතේශී සිතනා ඔබේ අදහස් පල නොකොට මේ සේවාව ලඛා දෙන්න කියා ආදරයෙන් ඉල්ලමි….
      හේතුව මෙහි අපට ආකල්ප වෙනසකට වඩා…
      වැදගත්….
      ඔබේ වටිනා සේවාවයි….
      මෙවැනි අදහස් වැඩිපුර පල නොකරන මෙනා ඉල්ලන්නේ ඇත්තටම Left වීමට නොහැකි තරම් ඔබ දෙන සේවාව වැදගත් බැවිනි…..

    ඔබේ අදහස් දක්වන්න.