fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කම්කරු දිනය අදයි -මැයි රැළි පෙළපාලි 40ක් රටපුරා

    කම්කරු දිනය අදයි -මැයි රැළි පෙළපාලි 40ක් රටපුරා

    ලෝක කම්කරු දිනය අදට (01) යෙදී තිබේ.

    වැඩකරන ජනතාවගේ අයිතීන් හා අයිතිවාසිකම් ප්‍රවර්ධනය කරමින් කම්කරු ව්‍යාපාරය විසින් සිදු කරන ලද ඓතිහාසික අරගල හා ජයග්‍රහණ සිහිපත් කිරීමත් පෙරදැරි කරගෙන සමස්ත ලෝකයම අද (01) කම්කරු දිනය සමරනු ලබයි.

    අදට යෙදෙන ලෝක කම්කරු දිනය නිමිත්තෙන් මෙරට තුළ දේශපාලන පක්ෂ විසින් පෙළපාළි සහ රැලි 40ක් දිවයින පුරා පැවැත්වෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

    රැස්වීම් සහිත පෙළපාළි 08ක් සහ රැස්වීම් පමණක් 06ක් කොළඹ නගරයේ පමණක් පැවැත්වේ.

    ජනපති මැයි දින රැළි 2කට යයි

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද(01) මැයි දින රැළි දෙකකට එක්වීමට නියමිතය.

    ලංකා කම්කරු කොංග්‍රසය සංවිධානය කරන මැයි දින රැළිය අද පෙ.ව 10.00ට කොටගල මහජන ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිත අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රථමයෙන් ඊට එක්වීමට නියමිතය.

    ලංකා කම්කරු කොංග්‍රසයේ ආරාධනය පරිදි ජනාධිපතිවරයා මේ සඳහා එක්වේ. වතුකරයේ ජනතාව විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් එම මැයි දින රැළිය සහ පෙළපාලිය පැවැත්වීමට සැලසුම් කර ඇත. කඳුකර ප්‍රජාව නියෝජනය කරන විශාලතම වෘත්තීය සමිතිය සහ දේශපාලන පක්ෂය වනුයේ ද ‍ලංකා කම්කරු කොංග්‍රසයයි.

    එජාප මැයි රැළිය ජනපති ප්‍රධානත්වයෙන්

    එක්සත් ජාතික පක්ෂ මැයි දින රැළිය අද ප.ව 2.00ට කොළඹ මාළිගාවත්ත පොලිසිය ඉදිරිපිට දි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වෙයි.

    එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ සංවිධාන ඇතුළු පාක්ෂිකයන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් එම මැයි දින රැළිය පැවැත්වෙයි.

    පොහොට්ටු මැයි රැළිය බොරැල්ලේදී

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි රැලිය “රොඳ බඳිමු අපි ඉත සිතින් – එක්සත්ව හදවතින්“ තේමාව යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ, නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් බොරැල්ල‍ කැම්බල් උද්‍යානයේදී පස්වරු 2ට පැවැත්වේ.

    සජබෙන් මැයි රැළි 2ක්

    සමගි ජන බලවේගය විසින් මැයි රැලි දෙකක් කොළඹ චැතැම් වීදියේ සහ වතුකරයේ පැවැත්වේ. සමඟි ජන බලවේගයේ මැයි දින පෙළපාළිය කොළඹ සෝන්ඩර්ස් පෙදෙසේ ඒ.ඊ. ගුණසිංහ ක්‍රීඩා පිටියෙන් පස්වරු 2ට ආරම්භ වේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මැයි දින රැලිය චැතැම් වීදියේදී පැවැත්වේ.

    මාලිමාවෙන් රටපුරා මැයි රැළි 4ක්

    ජාතික ජන බලවේගය විසින් මැයි රැලි හතරක් පැවැත්වීමට සැලසුම් කර ඇත. ඒ කොළඹ, යාපනය, මාතර සහ අනුරාධපුර නගරවලදීය. “රට හදන විසඳුමට ජනබලය එක පෙළට“ මැයෙන් එම මැයි දින රැළි සංවිධාන කර ඇත.

    ශ්‍රීලනිපයේ මැයි රැළිය ගම්පහදී

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින රැලිය ගම්පහ නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු පැවසුවේ, ඒ සඳහා පක්ෂයේ සියලු සාමාජිකයන් පැමිණෙතැයි අපේක්ෂා කරන බවයි.

    පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මැයි පෙළපාළිය කොළඹ මාලිගාකන්දේ වයිට් ක්‍රීඩා පිටියෙන් ආරම්භ වී ආනන්ද මාවත ඔස්සේ මරදාන ටී.බී. ජයා මාවතේ පිලිප් ගුණවර්ධන ක්‍රීඩාංගණයේදී මැයි රැලිය පැවැත්වීමට සැලසුම් කර තිබේ.

    ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ ඇතුළු ඒකාබද්ධ වාමාංශික මැයි රැලිය කිරුළපන ලලිත් ඇතුලත්මුදලි ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

    ලංකා සමසමාජ පක්ෂයේ මැයි රැලිය නුගේගොඩ ආනන්ද සමරකෝන් රංග පීඨයේදී පස්වරු 2ට පැවැත්වේ.

    ශ්‍රී ලංකාවේ දෙවැනි විධායක ජනාධිපතිවරයා වූ රණසිංහ ප්‍රේමදාස මහතා බෝම්බ ප්‍රහාරයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වී අදට වසර 31ක් සපිරීම නිමිත්තෙන් උසාවි සංකීර්ණය අසල ඒ මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමක් ද පැවැත්වීමට සූදානම් කර තිබේ.

    කොළඹ නගරය සඳහා පොලිස් නිලධාරීන් 6000ක්, පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 350කට වැඩි පිරිසක් යොදවන අතර අවශ්‍ය වුවහොත් සහ සුවිශේෂ තත්ත්වයක් ඇතිවුවහොත් පමණක් යුද හමුදාවේ ද සහාය යොදා ගැනීමට අපේක්ෂා කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

    මෙලෙස පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් යෙදවීම සිදු කරන්නේ කොළඹ නගරයට පැමිණෙන මහජනතාවගේ ආරක්ෂාව පහසුව සහ මැයි දින පෙළපාළි සහ රැස්වීම් මෙන්ම සැමරුම් උත්සවවල ආරක්ෂාව සඳහා බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කළේය.

    කොළඹ නගරයට අමතරව දිවයින පුරා පොලිස් නිලධාරීන් 3000කට ආසන්නව යොදවන බවත් අවශ්‍ය වුවහොත් කැඳවීම සඳහා යුද හමුදාව පොරොත්තු ලේඛනයේ තබා සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.