fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්"මේ මැයි රැලිය තීරණාත්මකයි"

    “මේ මැයි රැලිය තීරණාත්මකයි”

    මෙවර මැයි රැළිය තීරණාත්මක බව හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

    අදට යෙදෙන ලෝක කම්කරු දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ මැයි රැළිය බොරැල්ල කැම්බල් පිටියේ පැවති අතර එහි පැමිණි ජනතාව අමතමින් හිටපු ජනාධිපතිවරයා මේ බව කීය.

    “අපි හොරු කරලා මේ රටේ අනාගතය නැති කරන්න දෙස් විදෙස් බලවේග රාශියක් අද ඒකරාශිවෙලා ඉන්නවා.” යැයි ද මහින්ද රාජපක්ෂ මහතා එහිදී අවධාරණය කලේය.

    මැයි දින රැළිය අමතමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කරන ලද සම්පූර්ණ කතාව පහතින් දැක්වේ.

    “ආදරණීය කම්කරු ජනතාවගෙන් අවසරයි!

    මිත්‍රවරුනි,
    අද කැම්බල් පිටියට රැස්වෙලා ඉන්න සමස්ත කම්කරු ජනතාවට පළමුව මගේ ප්‍රණාමය පුදකරනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ශක්තිය රටට පෙන්වන්න අද ඔබට හැකිවෙලා තිබෙන බව මුලින්ම කියන්න ඕනි.

    මේ විධියට රටේ හතර වටෙන් කැම්බල් පිටියට රැස්වෙලා ඉන්න ජනතාව රටටම ඔප්පුකරන්නෙ තලන පෙලන තරමටම අපි තව තවත් මුවහත් වෙනවා කියලයි. ඔබ දන්නවා, බොරු කියලා. මඩ ගහලා. අපි හොරු කරලා මේ රටේ අනාගතය නැති කරන්න දෙස් විදෙස් බලවේග රාශියක් අද ඒකරාශිවෙලා ඉන්නවා. ඒ හැම අභියෝගයක්ම බිඳ හෙළමින් රටේත් ජනතාවගේත් අභිලාෂය දිනවන්න අපට පුළුවන් කියලා අපි ඔබ හමුවේ අද කියනවා.

    මේ සහෝදරවරු දන්නවා, කම්කරු ජනතාව හැමදාම පෙළපාලිවලට පාරට බස්සන්න ඉන්න පිරිසක්ය කියලා හිතං ඉන්න පිරිසකුත් මේ රටේ ඉන්නවා. ඒ අය බලන්නෙ ඔබව හැමදාම වීථි සටන්වල ඉත්තො විධියට තියාගන්න විතරයි. ඔබ ජීවත්ව ඉන්න කාලය තුළ මේ රට ගොඩනගලා ඔබේ දරුවන්ගේ අනාගතය වෙනස් කරන බලාපොරොත්තුවක් ඔවුන්ට නැහැ.
    තවත් කණ්ඩායමක් ඉන්නවා උස නම් සිකුරිටි මිටි නම් කම්කරු කියලා තෝරන. ඇත්තට එහෙම කරලා බොරුවට අද වගේ දවසක මයික් එක ගාවට ඇවිත් ආදරණීය සදාදරණීය කම්කරු ජනතාව කියලා ආමන්ත්‍රණය කරනවා. මේ කයිවාරු නායකයෝ.

    මිත්‍රවරුනි,
    ඉතිහාසය අරගෙන බලන්න. බලය නැති කාලෙ වගේම බලය තියෙන කාලෙත් අපි සියයට සියයක් කම්කරුවො එක්ක හිටියා. එදා වැඩ බිමේ වේවා මහ පාරේ වේවා කම්කරු සටන්වලට අපේ සහයෝගය උපරිමයෙන් දුන්නා. මහ පාරේ පෙලපාලි ගෙනියන්න විතරක් අපි ඔබව පාවිච්චි නොකළ බව වගකීමෙන් කියන්න ඕන. සමහරුන්ට කම්කරුවා මතක් වෙන්නෙ කම්කරු දිනේට විතරයි.

    මේ රටේ කම්කරු දිනය සමරන්න පටන් අරන් දැන් අවුරුදු 91 වෙනවා. මට මතකයි මම කම්කරු ඇමතිවරයා වෙනකම් කම්කරුවගෙ සුබසාධනයට එක රුපියලක් දෙන වැඩපිළිවෙලක් රජයෙන් හදලා තිබුණෙ නැහැ. පළමු වතාවට එදා ශ්‍රම වාසනා අරමුදල බිහිකරලා ඒ වැඩේට අතගහන්න අපට පුළුවන් උනා. එදා අපි පටන් ගත්තෙ මේ රටේ කම්කරුවා වෘත්තිකයෙක් කරන මහ යෝධ වැඩපිළිවෙලක්.

    මිත්‍රවරුනි,
    පොඩ්ඩක් හිතන්න, අද කම්කරුවා හෙට වෘත්තිකයෙක් විදියට තවත් පියවරක් ඉදිරියට ගියාම ඔබේ දරුවනුත් තවත් පියවර දෙක තුනක් ඉදිරියට යනවා. ඒ විධියට ඉදිරියට යන්නෙ ඔබ විතරක් ද ? නෑ මේ රටත් ඒ හරහා ඉදිරියට යනවා. රටක් දියුණු වෙන්න අවශ්‍ය සමාජ වටිනාකම් නිර්මාණය වෙන්නෙ ඒ විධියට කියලයි අපි විශ්වාස කරන්නෙ. ඉතිහාසය අරන් බලන්න, මේ රටේ හිටිය හැම කම්කරු නායකයෙක් එක්කම අපි හොඳ මිත්‍රත්වයකින් වැඩ කරලා තියෙනවා. ඔවුන්ට ඇහුම්කම් දීලා ඔවුන්ගෙ ප්‍රශ්න සාකච්ඡාවෙන් විසඳලා තියෙනවා. සාකච්ඡාවෙන් ප්‍රශ්න විසඳන අපේ ස්ථාවරය නිසා ඒ සම්බන්ධකම් මැයි දිනයට විතරක් සීමා උනෙත් නෑ. ඒ නිසා කවුරු කයිවාරු ගැහුවත් මේ රටේ වැඩබිමේ ගොවිබිමේ වැඩිම කම්කරු බලය තියෙන්නෙ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට කියලා අපි නොබියව ප්‍රකාශ කරන්න ඕනි.

    මිත්‍රවරුනි,
    මේ මැයි රැලිය තීරණාත්මකයි. එළැඹෙන ජනාධිපතිවරණයෙන් පස්සේ මේ රට ගමන් කරන්නෙ කොයිබට ද කියන තීන්දුව අද පටන් අපි රටට ගෙනියන්න ඕනි.
    දැන් බලන්න මොන දේශපාලන වේදිකාවෙත් කයිවාරු නායකයෝ පහර ගහන්නෙ අපිට. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ මේ වේදිකාවේ ඉන්න නායකයො ඉලක්ක කරලා තමයි හැමෝම මඩ ගහන්නෙ. ඒ ඇයි ? … මේ කයිවාරු නායකයො දන්නවා තාමත් ජනතා බලය තියෙන්නෙ අපි ගාව කියලා. ඒ අයට ඕන කරලා තියෙන්නෙ පොහොට්ටුවේ හැටනව ලක්ෂෙ බෙදාගන්න. ඒ අය හැට නව ලක්ෂෙට අපහාස කරනගමන් අනෙක් පැත්තෙන් පොහොට්ටුවේ මිනිස්සු ටික ඔඩොක්කුවට වැටෙනකම් බලාගෙන ඉන්නවා.

    ඒ නිසා මිත්‍රවරුනි, එක දෙයක් මතක තියාගන්න. ඉතිහාසයේ වැඩියෙන්ම වැරදි කරපු. මේ රටේ අනාගතය නැති කරපු මිනිස්සුන්ගෙ අපහාස විඳගෙන ඒ අයගෙ ඔඩොක්කුවට වැටෙන්න නම් යන්න එපා.

    අපිට වැරදි උනා නම් අපට වඩා වැරදි දහස් ගණනක් ඉන්න කුහක මිනිස්සු ගාවට යනවට වඩා අපට උන වැරදි නිවැරදි කරගෙන දිනන රටක් වෙනුවෙන් අපි එක ගමනක් යන්න ඕන.
    මොකද… දේශපාලනේ විරුද්ධවාදීන් ගහන ගහන තරමට අපි මඩ ඇල්ලුවේ නැති උනාට, මේ රටට වැඩක් කරන්න පුළුවන් ශක්තිය අදත් තියෙන්නෙ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට විතරයි කියලා අපි අද මතක් කරනවා. ඒ නිසා කිසියම් කළකිරීමක ඉන්න අපේ පාක්ෂිකයෙක් ඉන්නවා නම් අද ගමට ගිහින් බය නැතිව කියන්න එළැඹෙන ජනාධිපතිවරණය ජයගන්නෙ අපේ පක්ෂයේ ආශිර්වාදය තියෙන අපේක්ෂකයා විතරයි කියලා.

    සමහරු බලයි අපි මේ තරම් විශ්වාසෙන් ඇයි මෙහෙම කියන්නෙ කියලා. වෙලාව ආවම අපි අපේ තීරණය රටට දැනුම් දෙන්නම්. එතකම් සූට් මහගත්ත අයට තැන දීලා ඉන්න. ඒ අය හරි ආසයි මහලා තියෙන සූට් එක දිහා බල බල ඉන්න. මේ දවස්වල එයාලා විවාදයකින් හරි වැඩිම කයියනායක වෙලා හරි සූට් එක ඇඳගන්න පුළුවන්ද කියල බල බල ඉන්නෙ.

    මිත්‍රවරුනි,
    කොවිඩ්වලට කලින් අපි බාරගත්තෙ ආර්ථික වශයෙන් වැටුණු රටක්. අපි ඒක ජනතාවට නෙමෙයි රටට ලෝකෙටවත් කියන්න ගියේ නෑ. ඔය කයිවාරු නායකයෝ ජාතික ආණ්ඩු කරන්න සහය දීලා, වැඩිම විදෙස් ණය අරගෙන රට බිංදුවට දාලා තිබුණේ. අපි කළේ නැවත රට ගොඩනගන්න අවශ්‍ය පිළියම් යොදන එක විතරයි.

    එහෙම කරගෙන යද්දි තමයි කොරෝනා වසංගතය ඇවිත් අවුරුද්දකට වැඩිය රට වහන්න සිද්ධ උනේ. එදා ඒ ප්‍රශ්නෙ දි අපට උත්තර දෙකක් තිබුණා. එකක් කොහොමෙන්හරි බලය රැකගන්නවා කියන එක. අනෙක් එක අපේ මිනිස්සුන්ගෙ ජීවිතටික බේරගන්නවා කියන එක.
    මිත්‍රවරුනි, අපි මිනිස්සුන්ගෙ ජීවිත බේරගන්නවා කියන උත්තරයයි තේරුවේ. එහෙම නැති උනානම් අරගලත් නෑ .ගෝල්ෆේස් එන්න මිනිස්සුත් නෑ. අපි අපේ මරණ සංඛ්‍යාව අඩු කරගෙන ජීවිත බේරුවා.

    දැන් සමහරු යුද්ධය ගැන කතාකරනවාට අකමැතියි ලු. ඒකත් හොඳයි. තිස් අවුරුද්දක් තිස්සෙ මේ රටට සාපයක් වෙලා තිබුණු යුද්ධය රණවිරුවන් එක්ක එකතු වෙලා අපි අවසන් කළා. එදා වැඩ බිමේ ඉන්න ඔබ ඇතුළු සමස්ත ජනතාව අපට ඒ සඳහා උදවු කළා.
    එහෙම යුද්ධය අවසන් කරපු එකත් වැරදි ද ? නැත්නම් හිඟන්නාගේ තුවාලෙ වගේ මේවා ඉදිරියට ගෙනාව නම් අද කාටවත් මේ විධියට නිදහසේ රැස්වීමක්වත් තියන්න පුළුවන් ද ?
    එදා අපි තිස් අවුරුදු යුද්ධය තුන් අවුරුද්දෙන් අවසන් කරලා මුළු රටක් නිදහසේ හුස්ම ගන්න තැනට පත් කළා. දවස ගානේ යුද්දෙන් මියගිය ජීවිත මේ රටට ඉතිරි කරන්න අපට පුළුවන් උනා.

    හැබැයි මිත්‍රවරුනි,
    දැන් 71 වීරයෝ, 88-89 වීරයෝ කියලා ගොඩක් වීරයෝ ඉන්නවා. ඒ කාලෙ බෙල්ල කපලා වැට ඉනිවල ගහපු අය. පුතා මරලා තාත්තට අම්මට පුතාගේ මස් එවපු අය. බස් පුච්චපු අය. ට්‍රාන්ෆෝමර් ගිනිතියපු අය. කොටින්ම දාසය දාහක් විතර තරුණ තරුණියො රටට අහිමි කරපු අය. ඒ විතරක් නෙමෙයි අපේ රටේ රාජ්‍ය දේපල ගිනි තියලා විනාස කරපු අය. අනෙක් අය රට වැටුණු වෙලාවේ පැනලා ගියපු අය. මේ අය තමයි දැන් සූට් මහගෙන ඉන්නෙ.
    මේ හාදයො ඉතිහාසේ කවදාවත් ආණ්ඩුවක් කරන හොඳක් දැකලා තියෙනවාද බලන්න. බැලුවොත් ඇත්නම් විවේචන. නැතිනම් උද්ඝෝෂණ. මතක ඇතිනේ මේ අයත් ඇමතිකම් ගත්තා. හැබැයි මොකද උනේ. කයිවාරුවලින් දසමෙන් පංගුවක් කරලා පෙන්වන්න බැරි උනා.

    දැන් බලන්න මිත්‍රවරුනි, අපි අධිවේගී මාර්ග හදන කොට ඇඹුල් තියල් ගේන්න අධිවේගී මාර්ග හදනවා කිවුවා. පුළුවන් තරම් බාධා කරා. කොළඹ පෝට්සිටි හදන කොට ඒක හදන්න කළු ගල්වලට සීගිරිය කඩන්න වෙනවා කිවුවා. හම්බන්තොට වරාය හදන කොට ඒකේ මහ විශාල කළු ගලක් හැදුවට නැව්වලට එන්න බෑ කිවුවා. විදුලි බලාගාර හදන කොටත් මේ විදියටම කිවුවා. මත්තල ගුවන් තොටුපළ සමහරු වී වේලන්නත් දැම්මා. උමා ඔය හදන කොට ඒකේ මහ විශාල හිලක් කිවුවා.

    මේ අය කට උල්කරලා කියන කියන පාරට මිනිස්සු රැවටුණා. එදා උමාඔය විවෘතකරන වෙලාවේ ඉරාන ජනාධිපතිතුමා ගොඩබැස්සෙ මත්තල ගුවන් තොටුපළට. අද උමා ඔය ව්‍යාපෘතිය නිසා ජල විදුලිය විතරක් නෙමෙයි කෘෂිකර්මාන්තයේ නිරත ගොවීන් දහස් ගණනකට ජලය ලැබෙනවා. බොරු මවලා මේවා ප්‍රමාද කරලා, අයෝජකයෝ එළවන්න වැඩ කරලා මේ අය බිලියන් ගණන් මුදල් රටට අහිමි කළා. අපි විදෙස් තානාපති කෙනෙක් හමුවුණාම විදේශීය සතුරු බලවේග කිවුවා. ඉන්දියානු ව්‍යාප්තවාදය කිවුවා. අද ලැජ්ජ නැතිව ඒ රටවල්වලට විතරක් නෙමෙයි තානාපති කාර්යාල අස්සෙ ගිහිං කුමන්ත්‍රණ කරනවා. ඩොලර් හොයනවා.

    මිත්‍රවරුනි,
    මේ නායකයන්ට ප්‍රතිපත්තියක් නෑ. ඔබට මතක ඇති අරගලයෙන් වැටුණු රට බාරගන්න කියලා අපි සජබෙ සජිත් ප්‍රේමදාසට කිවුවා. ජවිපෙ අනුර කුමාරට කිවුවා. ඒ අය ඒ වෙලාවේ රට ගැන නෙමෙයි තමන්ගෙ අනාගතය ගැන හිතලා දැන් බාර ගන්න බෑ කියලා මග හැරියා.
    හැබැයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඒ ආරාධනාව පිළිගෙන ජනාධිපතිවරයා විධියට අපි නවත්වපු තැනින් අපේ සහයත් අරගෙන රට ඉදිරියට ගෙන ගියා.

    එදා යුද්දෙදි,කොවිඩ්වලදි විතරක් නෙමෙයි රට බංකොලොත් කියලා වැටුණ වෙලාවෙදිත් අපේ මන්ත්‍රීවරු ඝාතනය කරද්දිත්, ගෙවල් ගිනි තියද්දිත් අපි මේ රටවත් මේ රටේ මිනිස්සුවත් අතෑරලා පැනලා ගියේ නෑ. අපි එදා ඒ වගේ තීන්දුවකට නොයන්න මේ රට අරාජික වෙන්න හොඳටම ඉඩ තිබුණා. ඒවා රටක් විධියට අපි මතක තියාගන්න ඕනි.
    මේ වේදිකාවේ ඉන්න මන්ත්‍රීවරුන්ගේ අපේ ගෙවල් දොරවල් පුච්චලා කණ්ඩායමක් අර පරණ පුරුදු සෙල්ලම පටන් ගත්තා. මේ අයට පුරුදු ගිනි තියන එක. ඒ නිසා ඒක හෙට වෙනස්වෙයි කියලා හිතනවා නම් ඒක ලොකු වැරදීමක්.

    මිත්‍රවරුනි,
    බලන්න සමහරු මේ දවස්වල 88-89 මිනිස්සු මරපු ඒවාට සොරි කියනවා. තව මැඩම් කෙනෙක් ඇවිත් කවුද ජනාධිපති කරපු එකක් මා කළ මෝඩ වැඩක් කියලා දැන් එයාම ප්‍රසිද්ධියේ කියනවා. මේවා කළේ අපට පාඩම් උගන්වන්න. හැබැයි සිද්ධ උනේ, රට ආපස්සට ඇදලා දාපු එක විතරයි.

    රටේ ජනතාව මේවා තේරුම් අරගෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වටා තව තවත් බළමුළු ගැන්වෙනු ඇතැයි අපි විශ්වාස කරනවා. මේ පක්ෂය නිර්මාණය කරපු බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු ඒ කණ්ඩායමට තාමත් මේ රටේ දේශපාලන නාඩිය හොඳට තේරෙනවා. ඒ නිසා ඔය සමාජ මාධ්‍යවල මඩ ටීම්වලට එහා ගිහිං ඇත්තට ළං උනොත් රටේ සැබෑ ජනමතය තාම තියෙන්න අපි ගාවයි කියලා අපිට විශ්වාසයෙන් කියන්න පුළුවන්.

    ඒ නිසා දේශපාලනය කුමක් උනත් අපි ඉන්නෙ රටේ ජනතාව එක්කයි. ඔබේ ප්‍රශ්න අමතක කරලා, ඒ ගමන් යන්න අපි කොහෙත්ම සූදානම් නෑ. ඒ නිසා ආණ්ඩුවේ හොඳ අගය කරනවා වගේම ජීවන වියදම ඇතුළු ආර්ථිකය යථා තත්ත්වයට පත්වනතුරු ඒ සාධාරණ විවේචනය අපි රට හමුවේ තබන බවත් මතක් කරන්න ඕනි.

    ඒ නිසා වැඩබිමේ, ගොවිබිමේ දහඩිය වගුරන කම්කරු ජනතාවගේ සැබෑ ආර්ථික පීඩාවන් මගහැර දෙන්නත්, ඔවුන්ට නිසි ගරුත්වය වගේම අතමිට සරු හෙටක් නිර්මාණය කරන්නත් අපි කැපවෙන බව විශ්වසයෙන් යුතුව ප්‍රකාශ කරනවා.

    ඒ නිසා මිත්‍රවරුනි, වැටුණු රට යථාතත්ත්වයට ගන්න ශක්තියක් උනා වගේම මේ රට දිනවන අනාගත බලය අපි සියලුදෙනා එකට එක්ව නිර්මාණය කරමු. දිනන අපේක්ෂකයා ඉන්නෙ අපි ගාව නම්, ඒ දිනන රට වෙනුවෙන් එක ගමනක් යන්න අත්වැල් බැඳගන්නයි අපි ඔබට ආරාධනා කරනවා.

    ඔබේ කම්කරු අයිතීන්වලට ජයවේවා! කම්කරු ජනතාවට ජයවේවා! ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජයවේවා! ඔබේත් රටේත් අනාගතයට ජයවේවා!

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.