fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉස්සරහට එළවලු මිලට වෙන්න යන දේ..

    ඉස්සරහට එළවලු මිලට වෙන්න යන දේ..

    මෙම වසර අවසන් වන තෙක් මෙරට එළවළු මිල ගණන් අසාමාන්‍ය ලෙස ඉහළ යාමේ අවදානමක් නැතැයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය අවධාරණය කර සිටී.

    මැයි සහ ජූනි මාසවල වෙළෙඳපල තුළ එළවලු හා පලතුරු මෙන්ම අනෙකුත් ආහාර බෝගයන්හි මිල මට්ටම්වල හැසිරීම පිළිබඳව ඇතිවිය හැකි තත්ත්වයන් පිළිබඳ පූර්ව දැනුම්වත් කිරීමේ පර්යේෂණ වාර්තාවක් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාට බාර දෙමින් එම ආයතනය මෙම කරුණු අවධාරණය කළේය.

    සෑම වර්ෂයකම මහ කන්නයේ හා යල කන්නයේ වගා කරනු ලබන එලවළු හා පලතුරු අස්වනු අප්‍රේල් මාසය අවසන් වනවිට අවසන් වේ. එමනිසා මැයි, ජූනි, ජුලි මාසවල දී එලවළු මිල ඉහළයාමක් සිදු වේ.

    නමුත් මෙවර මහ කන්නයේ දී අධික වර්ෂාව නිසා එළවලු වගාව ප්‍රමාද වී ආරම්භ කර ඇත.

    වර්ෂාවෙන් විනාශ වු එළවලු වගාවන් නැවත ආරම්භ කිරීම ද සිදුවිය. මෙම අස්වනු සියල්ල එකවර පැමිණීම නිසා වෙළෙඳපළේ එලවළු මිල ගණන් සීග්‍රයෙන් පහළ ගියේය.

    එමෙන්ම හිඟයකින් තොරව එලවළු වෙළෙඳපොලට සැපයීම අඛණ්ඩව සිදුවේ.

    යම් හෙයකින් මැයි මාසයේ අවසාන සති දෙක තුළ දැඩි වර්ෂාපතනයක් ඇති වුවහොත් ජූනි මාසය දක්වා එළවළු මිල ගණන්වල යම් වැඩිවීමක් සිදුවිය හැකි බව ද හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු , පුහුණු හා පර්යේෂණ ආයතනය පවසයි.

    කාලගුණික වශයෙන් ඉදිරි කාලය තුළ දැඩි බලපෑමක් සිදු නොවුනහොත් හා දැනට පවතින යහපත් කාලගුණික තත්ත්වය එසේම පැවතුනහොත් මෙම වසර අවසන් වන තෙක් එළවළු මිල ගණන් අසාමාන්‍ය ඉහළයාමක් සිදු නොවේ.

    මේ හැර සහල් මිල සම්බන්ධව ගතහොත් ජනතාවගෙන් 90%ක් පමණ පරිභෝජනය කරන නාඩු සහල් මිල ගණන් ඉදිරි මාස තුන තුළත් නොවෙනස්ව පවතී.

    නමුත් කීරි සම්බා හා සම්බා සහල් මිල ගණන්වල යම් ඉහළයාමක් ඉදිරියටත් සිදුවිය හැකි බව ද මෙම පූර්ව දැනුම්වත් කිරීමේ වාර්තාව පෙන්වා දෙයි. එයට හේතුව දැනටමත් මෙම සහල් වර්ග දෙකෙහි මිල ගණන් පාලන මිල ඉක්මවා ගොස් ඇති හෙයිනි.

    එසේම බඩඉරිඟු ගොවීන්ට දැනට හොඳ මිලක් ද ලැබී තිබේ. මේ වනවිට බඩඉරිඟු කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 125-135 වැනි මිල ගණන් යටතේ අලෙවි වෙයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.